11 වන පරිච්ඡේදය
අභය රජුගේ විසිවන රාජ්‍ය වර්ෂය උදාවිය. මේ වනවිට පණ්ඩුකාභය කුමාරයාගේ[1] වයස අවුරුදු විස්සකි. මෙසේ පණ්ඩුකාභය තිස්හත් වියට පිය නැගීය. ඔහු අභිෂේකයට පත්වූයේ මෙම වර්ෂයේ දීය. පණ්ඩුකාභය අභය රජුගේ විසිවන රාජ්‍ය වර්ෂයේදී හොරෙකු[2] විය. පණ්ඩුකාභය දහහත් වැනි වියෙහිදී[3] තම මාමාවරුන් හත්දෙනා මරා අනුරාධපුරයෙහි අභිෂේක කෙරින.[4] පණ්ඩුකාභයගේ රාජ්‍ය කාලයෙන් දසවසක් ඉක්ම ගියේය. මේ වනවිට ද ඔහුට සැට වසක් නොවීය. ග්‍රාම සීමා නියම කරන ලද්දේ මේ කාලයේදීය. එසේම මෙම අවදියේදී විවිධ නගර වීථින්ද ඉදිකෙරින. තවද පණ්ඩුකාභය රජුට උපකාර කරන යක්ෂයන් දෙදෙනෙකු සිටියේය. ඔවුන් නොයෙක් දේ පණ්ඩුකාභයට ගෙනැවිත් දෙන ලදී. ඔවුන් මිනිසුන් දෙන දෙයින් යැපින. මේ ආකාරයෙන් පණ්ඩුකාභය රජතුමා අවුරුදු 70ක් රාජ්‍ය කළේය. ක්ෂත්රිය වංශයට අයත් මෙම පණ්ඩුකාභය රජුටද මුටශිව නම් පුතෙකු විය. එම පුත්‍රයාද මහත් ඉසුරුමත් අයෙකු විය. මෙම මුටශිව[5] රජතුමාද අවුරුදු 60ක් ලක්දිව රාජ්‍ය මෙහෙයවන ලදී.
මෙම රජතුමාට ඔවුනොවුන් කෙරේ බැඳුනාවූ පුත් කුමරුවෝ දස දෙනෙක් වූහ. අභය, තිස්ස, නාග: උත්තිය: මුත්ත, අභය, මිත්ත, ශිව, අසේල, තිස්ස, යන මොවුන් දස දෙනාය. තවද මුටශිව රජතුමාට දූවරු දෙදෙනකද වූවා. අනුලා කුමරි හා සීවලී කුමරිය යනුවෙන් මෙම දූවරු නම්වෙති.
අජාසත් රජතුමාගේ අටවැනි රාජ්‍ය වර්ෂයෙහිදී විජය කුමරු මෙහි පැමිණියේය. (ඉංදියාවේ) උදය රජුගේ දහසය වැනි රාජ්‍ය වර්ෂයේ දී විජය රජු මිය ගියේය. පණ්ඩුවාස දේව රජුගේ අභිෂේකය සිදුවූයේ උදය රජුගේ 17 වන රාජ්‍ය වර්ෂයේ දීය. විජය පණ්ඩුවාසුදේව යන රජවරුන් දෙදෙනාගේ රාජ්‍ය කාලයන් අතර අවුරුද්දක්[6] රජ කෙනෙකුගෙන් තොර කාලයකි. නාගදාස රජුගේ විසි එක්වැනි රාජ්‍ය වර්ෂයේදී පණ්ඩුවාසුදේව රජු මෙහි පැමිණියේය. ඒ නාගදාස රජු ජීවත්ව සිටියදීම ඔහුගේ පුත් අභය කුමරු අභිෂේක[7] ලැබීය. මෙසේ ඔවුන් දෙදෙනාට අවුරුදු දාහතක් ද විසිහතරක් ද වූහ. මේ ආකාරයෙන් (කාලය ගෙවී ගොස්) චන්ද්‍රගුප්ත රජුගේ අභිෂේකයෙන් දහහත් වැනි රාජ්‍ය වර්ෂය එළඹියේය. පණ්ඩුකාභය රජු මිය ගියේ මෙම වර්ෂයේදීය. එසේම මෙම වර්ෂයේදීම මුටශිව[8] රජු අභිෂේක ලැබීය. (මෙසේ කාලය ගෙවී ගොස්) ධර්මාශෝක රජුගේ අභිෂේකයෙන් අවුරුදු දහහතක් ඉක්ම ගියේය. එම අවදියේදී මුටශිව රජතුමා අනුරාධ පුර නගරයේ රාජ්‍ය විචාරමින් සිටියදී මිය ගියේය. මෙසමයේ දී හේමන්ත සෘතුවේ දෙවන මාසයේ උතුම්වූ ඇසල නැකැත් දිනයෙහි[9] දේවා නම් පියතිස්ස[10] ලංකාවේ රජු වශයෙන් අභිෂේක ලැබීය. මෙම අවදියේ දී “ජාත” නම් කඳු පාමුල උණ යෂ්ඨි තුනක් පහළ විය. එයින් එකක් “සුදු” යෂ්ඨියක් වූ අතර එකක් රන්වන් බවින් යුතු විය. රන්වන් පාට හා සමානවූ අනෙක් “කාංචන” යෂ්ඨි නම් විය. ඒ මතින් මනාසේ ලතා ලකුණු පිළිබිඹු විය. සමහර යෂ්ඨීන්හි නීල, පීත, ඕදාත යන වර්ණයන්ගෙන් සමන්විත විය. මනාව වැඩුනා වූ එම යෂ්ඨීන්හි කළුවූ මල් සටහන් විද්‍යාමාන විය. එබඳු වූ පුෂ්ප යෂ්ටියෙන් ද විවිධ වර්ණයන්ගෙන් සමන්විත වූ පක්ෂී සමූහයා දෘශ්‍ය මාන වේ. එම වනසංචිතයෙහිම ද්විජ යෂ්ටියද පහළවිය. තව ද මෙම කාලයේදී හයමුතු, ගජමුතු, රථමුතු, හා වලයාකාරමුතු, ද අංගුලිරේඛා මුතුද, (ඇඟිලිලේඛ බඳු මුතු) කුඹුක් ගෙඩි මුතු (කුඹුක් ගෙඩි හා සමාන මුතු) ප්‍රකෘති මුතු, ද ආමලක මුතු, ද (නෙල්ලිගෙඩි හා සමාන) යන මුතු අටවර්ගය රළ වේගයෙන් මුහුදු වෙරළට පැමිණියේය. මේ සියල්ල ලැබුණේ දේවානම් පියතිස්ස රජුගේ රාජ්යාභිෂේකයේ අනුභාව මහිමයෙනි. තවද මලය ජනපදයෙන්[11] විටිනා මැණික් ගල් තුනක් ගෙන එන ලදී. දේවානම් පියතිස්ස රජුගේ පුණ්‍ය බලමහිමය නිසා ඔහුගේ රාජ්‍යාභිෂේකයෙන් සතියක් ඇතුලත මේවා පහළ විය.
ජාතපර්වත පාදයෙන් උණ යෂ්ඨි තුනක් ද මුහුදෙන් මුතු වර්ග අටක් ද කඳුරටින් උතුම්වූ මැණික් ගල් තුනක් ද ගෙන එන ලදී. දෙවන පෑතිස් රජතුමා මෙවැනි අගනා උණ යෂ්ඨි, මුතු හා රත්න වර්ග ද එසේම කිසිවකට සමාන නොවූ දුර්ලභ ගණයේ මැණික් තුන ද දැක සතුටු සිත් ඇතිව මෙසේ කීවේය.
“මම උතුම් වූ මව්පිය දෙපාර්ශවයෙන් උපන් උසස් වංශවත් රජ කෙනෙකු වෙමි. මට මෙසේ දහස් ගණන් වටිනා සම්පත් පහළ වූයේ මා විසින් පෙර කරන ලද කුශලයන්ගේ විපාක වශයෙනි.”
දේවානම් පියතිස්ස රජතුමා විසින් පෙර ආත්මයෙහි කරන ලද කුශලයන්ගේ ප්රතිඵලයන් මනාසේ ලබන ලදී. මේ ලෝකයේ අන්කවරෙක් නම් මෙබඳු සැපතක් ලබන්ට සමත්වේද?
“මාගේ දියුණුවට මුල්වූ බුද්ධාදී රත්නත්රයෙන් වෙන්ව අකුසල් ගාමීව ජීවත්වීම මට නොවටී.”
යනුවෙන්ද රජු සිතීය.
“ඒ නිසා මාගේ මව්පියෝද සහෝදරයෝද, ඥාති මිත්රාදීහුද, ධර්මයෙන් වෙන් වීමට සුදුස්සෝ නොවෙතීයි.
දෙවනපෑතිස් රජ මෙසේ සිතමින් අශෝක රජු ගැන සිහි කළේය. දේවානම් පියතිස්ස රජතුමා හා ධර්මාශෝක රජතුමා යන ඥානවන්ත රජවරු දෙදෙනා ඉතා දැඩිසේ ඔවුනොවුන් කෙරේ භක්තියෙන් බැඳුනාවූ නොදුටු කල්‍යාණ මිත්‍රයෝ වූහ. ඒ දෙවන පෑතිස් රජතුමා මෙසේද සිතීය.
“මාගේ ප්‍රිය සහායක වූ සියළු යස ඉසුරින් පිරි පින්වත් ධර්මාශෝක රජතුමා දඹදිව ඇත. දිවිහිමියෙන් ඔහු මාගේ මිත්‍රයා වෙයි. ඒ මාගේ ප්‍රිය සහායකවූ ධර්මාශෝක රජු විසින් එවන ලද බුද්ධාදී රත්නත්‍රය මා විසින් පිළිගැනීමට සුදුසුය. එසේ හෙයින් මම ද ඒ සැපත ලබන්නට සුදුසු වෙමි.”
මෙසේ කල්පනා කොට ඔහු ඇමතියන් ඇමතීය.
“වහා නැගී සිටින්න. මේ රත්න සමූහයගෙන ගොස් මාගේ ප්‍රිය මිත්‍ර වූ ධර්මාශෝක රජුට දී (පඬුරුවශයෙන් දී) රජුගෙන් උතුම් වූ රත්නත්‍රය ඉල්ලන්න.”
යයි කියා මහා අරිට්ඨ ඇමතිවරයාද “සාල” බමුණාද, “පර්වත” නම් අනෙක් ඇමතිවරයෙකුද පුත්‍රවූ “තිස්ස” නම් ගණකාමාත්ය වරයාද යන මේ සතර දෙනා[12] පිටත්කර යැවීය. දේවානම් පියතිස්ස රජතුමා විසින් බබලන්නාවූ මහඟු මාණික්‍යයන් තුනද මුතු වර්ග සහ උණ යෂ්ඨි තුනද උතුම් වූ දක්ෂිණාවෘත්ත සංඛ්යද, තවත් බොහෝ රත්නයන්ද සපිරිවර සහිතව ධර්මාශෝක රජු වෙත යවන ලදී.
ඒ ක්ෂත්රිය වූ අශෝක රජතුමා ඒ සියල්ල පිළිගෙන පුත්‍රවූ තිස්ස නම් ගණකාමාත්ය වරයා අත ඡත්රය චාමරය, දක්ෂිණසංඛ වෘත්තය; හිස් වෙළුම හා කන් පළඳනාද ගංගා නම් ගඟේ ජලය සහිත කෙන්ඩියද, හග්ගෙඩිය, නන්දියාවට්ටය, වඩ්ඩමානකය ආදී රාජ්‍යාභිෂේකය සඳහා වූ අවශ්‍ය දෑ එවීය. එපමණක් ද නොව ඉතා වටිනා නොසේදිය යුතු වස්ත්‍ර යුවලක් ද[13] උතුම් වූ අත්පිස්නාවක් ද එවීය. තවද ඉතා වටිනා සඳුන් අරටුද, අරුණුවන් මැටිද, බෙහෙත් අරළුද, නෙල්ලි යන මේවාද සහිතව හසුන් පතක් ද ආපසු එවීය.
දක්ෂිණාර්ය්යන් අතුරෙන් බුදුරාජාණන් වහන්සේ හා රහතුන් වහන්සේලාද විසින් දේශනා කර ලද ශ්‍රේෂ්ඨ ධර්මයද, පින්කෙත් බඳු මහා සංඝ රත්නයද දෙවියන් සහිත ලෝකයේ උතුම්ය. ඒ නිසා ලංකා දීපයේ රජවූ මම ද උතුම්වූ ආර්ය්යන් වඳින්නෙමි’යි වැද්දේය. ඒ දූතයෝ සිව්දෙන පස්මසක් එහි වාසය කළහ.[14] එසේ වාසය කොට පැමිණියාවූ එම පිරිස ධර්මාශෝක රජු විසින් එවන ලද පඬුරුත් රැගෙන අභිෂේකයට එවන ලද පිරිසත් සමඟ වෙසක් මස දොළොස් වන දින දඹදිවින් මෙහි පැමිණියහ. මෙයින් පසු වෙසක් මස පුර පසළොස්වක දිනයෙහි දෙවන පෑතිස් රජුගේ දෙවන අභිෂේකය සිදුවිය. මෙයින් තෙමසක් ඉක්මිණි. එයින් පසු පැමිණියාවූ ඇසළ මස පුර පසළොස්වක දිනයේ මහාමහින්ද තෙරුන් වහන්සේ ඇතුළු හත් දෙනෙක් වූ[15] බෞද්ධ දූත පිරිස දඹදිවින් මෙහි ආවාහුය.
මොහුගේ නම පාලි කෘතියෙහි සඳහන්වන්නේ පකුණ්ඩක යන නමිනි. මෙහි අර්ථය හොරා යන්නය. ↑
මෙහි හොරෙකු යන වචනය භාවිතා කරන්නට ඇත්තේ පණ්ඩුකාභය ගේ සියලු කටයුතු ඉතා රහසිගතව කළ නිසා විය හැකිය. ↑
මෙය රිටිගලදී කරන ලද අවසන් යුද්ධය විය හැකිය. පණ්ඩුකාභය රිටිගල අවුරුදු 7ක් සිටි බව ම: ව: දක්වයි. මෙහිදී යුද්ධ උපක්‍රම ආදිය දක්වන්නට ඇත්තේ අවසන් අවුරුදු 3 දී විය හැකිය. ↑
ක්‍රි. පූ. 413 පිතෘඝාතක රජපරපුර අවසානයේ රජවූ ඉංදියාවේ සිසුනාග ගේ රාජ්‍ය වර්ෂයයි. මොහුගෙන් මහාපද්ම නන්දරාජ්ය පැහැරගන්නා ලදී. නන්දවංශයේ අවසන් රජු මහාධන නන්ද රාජ්‍යකරන විට ඇලෙක්සැන්ඩර් ඉංදියාව ආක්‍රමණ කළේය. ඒ ක්‍රි. පූ. 321 අවදියේය. ↑
පණ්ඩුකාභයට ගණතිස්ස නම් තවත් පුතෙකු සිටි බව රාජාවලිය කියයි. ඔහු 13 වසක් රජ කළ බවද කියයි. ↑
මෙම අවුරුද්ද උපතිස්ස ඇමති රාජ්‍යානුශාසනා කළ බව මං: වං: දැක්වේ. ↑
පියා සිටියදීම යුව රජුවශයෙන් අභිෂේක ලද බව මං: වං: දැක්වේ. ↑
මොහුයි චන්ද්‍රගුප්ත ක්‍රි. පූ. 324 රජවූ බව ඉතිහාසඥයන්ගේ මතයයි. ↑
මං: වං: මෙම දිනය දක්වා නැත ↑
ඔහු දේවානම් පියතිස්ස වූයේ අශෝකගේ පඬුරු ලැබ දෙවන වරට අභිෂේක වීමෙන් පසුව බව දැක්වේ. ↑
මෙකල මලයදේශයේ ජනපදයක් තිබූ බව පෙනේ. පසුකාලයේ දුටුගැමුණු සැඟවී සිටියේ මෙහිය. ↑
ම: වං: දැක්වෙන්නේ මහාරිට්ඨ ඇමති ප්‍රධාන බමුණු ඇමති, ගණකයන තිදෙනෙක් යැවූ බවය. ම: වං: ටීකාවේ ඒ අයගේ නම් වශයෙන් කාලිපබ්බත, තේල, තිස්ස, යන තිදෙනෙකුගේ නම් පෙන්වා ඇත. ↑
ම: ව: සඳහන්වන්නේ කෙලක් වස්ත්‍ර එවූ බවය. තවද කුමාරිකා ඔසුපක්ෂීන්, ඇල්හාල් ආදී විවිධ දේද එවූ බව ම: ව: දක්වා ඇත. එසේම සසුනෙහි තිබූ දෑද ම: ව: දක්වා ඇත. ↑
දඹකොළපටුනින් ගමන ඇරඹුවත් මුදුගමන දින 7කුත් ගොඩබිම ගමනට දින 7කුත් ගතවූ බවත්, තාම්රලිප්තියෙන් ආපසු ඒමේදී පැමිණි දඹකොළ පටුනට පැමිණි බවත් දැක්වේ. (ම: ව: 11 පරි) ↑
ම: ව: එම දූත පිරිසේ සිටි 7 දෙනා නම් වශයෙන් දක්වා ඇත. ↑