සිංහල දීපවංශය

9 වන පරිච්ඡේදය

පින්වත්නි; දීප උප්පත්ති කථාව නම්වූ මාගේ වංශ කථාව අසව්. සිංහයෙකු දමනය කිරීම නිසා මෙම ලංකාදීපයට සිංහල යන නාමය ව්‍යවහාර විය. වගු රජුගේ දියණිය මහවනය අරක්ගෙන සිටියාවූ සිංහයෙකු සමඟ සංවාසය කළාය. එම සංවාසය නිසා ඇය නිවුන් සහෝදරයින් දෙදෙනෙකු බිහිකළහ. මෙම දරුවන් දෙදෙනා මහා හැඩරුව ඇත්තේද විය. මෙම දරුවන් දෙදෙනා සිංහබාහු හා සිංහසීවලී නම්[1] වී. ඔවුන්ගේ මව් සුසීමා[2] නමින්ද, පියා සීහ[3] නමින්ද නම් ඇත්තේ විය. සිංහබාහුට අවුරුදු දහසයක් ඉක්ම ගියේය. එකල්හි නැගනියද රැගත් ඔහු එම ගුහාවෙන් නික්මිණි. එසේ නික්ම ගොස් එහි සිංහ පුරය[4] නම් උතුම් නගරයක් ගොඩ නැගීය. සිංහ පුත්‍ර වූ මහත් බල ඇති සිංහබාහු රජ එම ලාට රට උතුම්වූ සිංහ පුරයෙහි රාජ්‍ය කළේය. ඒ සිංහපුත්‍රවූ සිංහබාහුට ඔවුනොවුන්ට සහෝදර ප්‍රේමයෙන් වෙලී ගියාවූ දරු තිස් දෙදෙනෙක් වූහ. ඔවුන් අතරින් සුමිත්තද වැඩිමහල් සහෝදරයෝ වෙති. මෙයින් විජය කුමාරයා ඉතා දරුණුවිය. සාහසික බලයක් ඇත්තෙක් ද විය. මෙම විජය කුමාරයා එම සාහසික පිරිස් හා එක්ව නැවත සකස් නොකල හැකිසේ ඉතා දරුණු ලෙස ගම් පැහැරීම් හා සාහසික කම් කරයි. මේ නිසා ගම් නියම්ගම් වැස්සෝ එක්ව රජු වෙත පැමිණිලි කළාහුය. ඔවුහු රජු වෙතට අවුත් විජයගේ දොස් කීවාහුය. රජු ජනපද වැසියන්ගේ වචන ඇසීය. හේ ජනපද වැසියන්ගේ වචන අසා මහත්සේ කුපිත විය. එයින් පසු රජතුමා (සිංහබාහු) මේ කුමාරයා රටින් නෙරපන්නැයි ඇමතියන්ට නියෝග කළේය.[5] ඔහුගේ පිරිවරද, සියල්ලන්ගේ අඹුදරුවන් හා නෑයින්ද, දැසිදස් කම්කරු ආදීන්ද, රටින් නෙරපා දමන ලෙසද නියෝග කෙරින. පළමුව ඔහු යැවීය.[6] එයින් පසු ඔහුගේ පිරිවර හා ඥාති මිත්‍රාදීන්ද, සිටි ස්ථානවලින් නෙරපා ඒ සියල්ලන් නැව් නංවා මහා සාගරයේ පාකර යැව්වේය. ඔවුන් යවන විට සිංහබාහු රජතුමා මෙසේද කීවේය.

“විජය කුමරු ඇතුළු සියළුම පිරිස මෙම රටින් බැහැර අපට නොපෙනෙන කැමති ස්ථානයකට යත්වා. නැවත මෙම රටේ ජනපදයන්හි වාසයට නොයෙව්.” යනුවෙනි.

මෙසේ මහා සාගරයෙහි පාකර හරින ලද නැව්වලින් විජය කුමරුගේ නැව හැර අන්‍ය කුමරුන්ගේ නෞකාවන් වෙනත් දිවයිනකට ගියේය. එම දිවයින එකල නග්නදීපය නම් විය. ස්ත්‍රීන් නැගුණ නැව අවස්සක දිවයිනට ගියේය. මෙයින් පසු එම දිවයිනට මහිලා රට[7] යයි නම් කරන ලද්දේය.

විජය කුමාරයා ඇතුළු ඔහුගේ පිරිස හත්සියයක් පුරුෂයන් නැගුණ නැව මුහුදේ පාවී ගොස් කිසිම රටක් තොටක් නොපෙනී පාවී ගියේය. ඔවුහු මංමුලාවී ගොස් සුප්පාරක පටුනට ගොඩ බැස්සාහ. මෙසේ පැමිණියාවූ ඔවුන්ට සුප්පාරක වැසියෝ මහත්සේ සත්කාර සම්මාන කළාහුය. සුප්පාරක වැසියන් එසේ සත්කාර කරන කල්හිද විජය ඇතුළු ඔහුගේ යහළුවෝ නපුරු වැඩ කරමින් මෝඩයන් සේ ක්‍රියා කරන්නට වූහ. ඔවුහු මිනිසුන් මැරුවෝය. සොරකම් කළෝය. අන් අඹුවන් කරා ගියෝය. බොරු කීවාහුය. කේලාම් කීම් හා අනාචාරයේ හැසිරීම් ආදී දුෂ්චරිත කළහ. එසේම ඉතා දරුණු භයානක වැඩ කළාහුය.[8] එකල එහි මිනිස්සු එක්වී “අපි මේ බේබද්දන් ඉක්මණින් විනාශ කරන්නෙමියි” කථිකා කළාහුය. එසේ කථිකා කොට ඔවුන්ට මහත්සේ බැණ කැට ගල්මුගුරු ආදියෙන් ගසා එළවා දැමූහ. එකල මෙම දිවයින ඕජදීප; වරදීප; මණ්ඩදීප නමින් හැඳින්වීය. මෙම දිවයින ලංකාදීප යන නමින් ද තම්බපන්ණි දීප යනුවෙන්ද ප්‍රඥප්ති වශයෙන් පිළිගනු ලැබේ.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පානා සමයෙහි ක්‍ෂත්‍රිය වූ සිංහබාහුගේ මෙම විජය නම් පුත්‍රයා දඹදිව හැර දමා ක්‍රමයෙන් ලංකාදීපයට පැමිණ රජවන්නේ යයි උන්වහන්සේ වදාළ සේක. එසේ ප්‍රකාශ කළ බුදුන් වහන්සේ ශක්‍රදිව්‍ය රාජයා අමතා මෙසේ ද වදාළහ.

“ශක්‍රය; ලංකාව ආරක්‍ෂා කිරීමට පමා නොවෙව.” යනුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ වචන ඇසූ සුජම්පති සක්දෙව් රජ උපුල්වන්[9] දෙවියන් ඇමතීය. එසේ කථාකළ සක්දෙව් රජ ලංකාව ආරක්‍ෂා කරන්නැයි ඔහුට කීය. ශක්‍රදිව්‍ය රාජයාගේ වචන පිළිගත් උපුල්වන් දිව්‍ය රාජයා ලංකාව ආරක්‍ෂා කිරීම පිණිස සපිරිවරින් ලක්දිවට පැමිණියේය. විජය කුමාරයා තෙමසක් භාරුකච්ච නම් ස්ථානයේ වාසය කළේය. එසේ වාසය කළාවූ විජය කුමාරයා තම පිරිසට මහත් තදින් කථා කොට[10] තමන් පැමිණි නෞකාවටම නැගුණේය.

මුලාවූ ඔවුහු ස්වකීය නැවට නැගී ගමන් ගත්තාහුය. ඔවුහු සුළඟ නිසා සාගරයේ ඉල්පෙමින් පාවෙමින් පැමිණියාවූ මහත! කුස ගින්නේ පෙළුනාහුය. ඔවුහු පාවී ලක්දිවට පැමිණ ලක් පොළවෙහි ස්පර්ෂය ලැබුවාහුය. මොවුන් මෙහි පැමිණෙන විට පිපාසයෙන් පෙළුන අතර ක්ලාන්ත බවින්ද යුක්ත විය. පයින් ගමන් කලාවූ ඔවුන් ගෙන් සමහරෙක් දෙඅත් හා දෙදන බිම ඇණගෙන සිටියෝය. මෙසේ වැතිරි සිටි ඔවුහු එම භූමියෙන් නැගිට්ටෝය. පොළවේ තිබූ පස් ගෑවීමෙන් ඔවුන්ගේ අත් රත් පැහැයෙන් බබලවන්නට විය. ඔවුහු ඒ දෙස බලන්නට වූහ. එම නිසා මෙතැන් සිට ලංකාදීපයට “තම්බපණ්ණි” යන නාමය ඇතිවිය. මෙහිදී විජය ප්‍රධානත්වය ගෙන ඔවුන්ට අනුශාසනා කෙරින.[11]

විජය රජුගේ විජිත ඇමතිවරයා විසින් ජනපදයක් ගොඩ නගන ලදී. එය විජිත ජනපදය විය. අනුර නැකතින් ගොඩ නගන ලද ජනපදය “අනුරාධ” නම් විය. අච්චුතගාමී උපතිස්ස ඇමති තෙමේ ද විජය කුමරු සමඟ පළමුවෙන් මෙහි පැමිණියේය. තවත් නොයෙක් ක්‍ෂත්‍රිය රාජවංශවලට අයත් ස්ත්‍රී පුරුෂයෝද මෙහි පැමිණියාහුය. ඒ ක්‍ෂත්‍රිය වංශික විජය කුමාරයා මේ ආකාරයෙන් ලක්දිව ඒ ඒ දිසාවන්හි නගර ඉදිකරවීය.

තම්මැන්නාවට දකුණු පසින් පිහිටි උතුම් වූ නදීතීරයේ වෙළෙඳුන් විසින් ගෙන එන ලද (නානාවිධ භාණ්ඩයන් ගෙන් සමන්විත) පොදිලිහන ස්ථානය[12] වශයෙන් හඳුන්වනු ලබන ස්ථානය පිහිටියේය. ඒ ස්ථානය අසල විජය විසින් ගොඩ නගන ලද නගරය තම්මැන්නාවය. මෙම කාලයේදී විජිත ඇමැති වරයා විසින් විජිත නගරය ඉදිකරන ලදී. එසේම උරුවේල ඇමැති වරයා උරුවෙල නගරය ඉදිකළේය. තවද නක්කත්ත[13] නම් ඇමති වරයා විසින් අනුරාධපුරය ඉදිකරන ලදී. මෙම ඇමැතිවරුන් අතරින් අච්චුතගාමී නම් වූ ඇමැති වරයා විසින් උදේනී ජනපදය පිහිටි ස්ථානයේ එම ජන පදය ඉදිකෙරිණ. එසේම විජය රජතුමාගේ උපතිස්ස නම් ඇමැතිවරයා මනාසේ වෙළඳ සැල් සංකිරණයන්ගෙන් සමන්විතව වීථි ආදියෙන් බෙදා වෙන් කරන ලද උපතිස්ස නගරය ඉදි කෙරිණ.[14]

අලංකාරයෙන් හා අතිශයින් විශාල වූද විවිධ ධනධාන්‍යාදියෙන් සමන්විත වූ යම්බඳු වූ නගරයක් වූයේද: එම නගරය නම් තම්මැන්නා නුවරයි. ලංකාවේ පළමුවෙන්ම රාජ්‍යාධිපතිවූ විජය රජතුමා තම්මැන්නා නුවර රාජ්‍ය විචාරීය.[15] විජය රජුගේ අභිෂේකයෙන්[16] අවුරුදු තිස්හතක් ඉක්ම ගියේය. ඒ කාලයේ විවිධ ජනීජනයාගෙන් ගැවසී ගත්තාවූ ජනපද සමූහයක් ලක්බිම ඉදිවිය. ක්‍ෂත්‍රිය වංශයට අයත් එම විජය රජතුමා අවුරුදු තිස් අටක් රාජ්‍යය කළේය.

බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් නමවැනි මාසයේ දී උන්වහන්සේ විසින් මෙම ලක්දිවින් යක්‍ෂ සෙනග පළවා හරින ලදී. එම තථාගතයන් වහන්සේගේ පස්වැනි අවුරුද්දේදී උන්වහන්සේ විසින් නාග දමනය සිදු කෙරිණි. බුද්ධත්වයෙන් අටවන වර්ෂයෙහි ලක්බිමට වැඩි උන්වහන්සේ අටමස්ථානයන් පිහිටි ස්ථානයන්ට පැමිණ එම ස්ථානයන් හි සමවත් සුවයෙන් වැඩ වසන ලදී.

ඒ සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ මෙම තුන් අවස්ථාවන් හිදීම මෙම ලක්දිවට වැඩිසේක. උන්වහන්සේගේ අවසන් අවුරුද්දේදී විජය කුමාරයා ලක්දිවට පැමිණියේය. එසේම ඒ උතුම්වූ බුදුරජාණන් වහන්සේ මෙම ලංකාදීපය මනුෂ්‍ය වාසයක් කරවූ සේක. ඒ විජය කුමාරයා ලංකාවට පැමිණි දිනයේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ අනුපාධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක. ඒ බබලන්නා වූ සම්මා සම්බුද්ධ වූ ධර්මරාජයානන් වහන්සේ පිරිනිවූ සේක. එයින් පසු වසර 38ක් විජය රජතුමා රාජ්‍යය මෙහෙයවීය. විජය රජතුමාගේ අවසාන කාල පරිච්ඡේදයේදී මේ වනවිට සිංහපුරයේ රාජ්‍යය විචාරමින් සිටි තම සොහොයුරු සුමිත්ත යන් වෙත දූතයෙකු[17] යවමින් උතුම්වූ ලංකාදීපය පාලනය කිරීම සඳහා ඉතා ඉක්මණින් නුඹ වෙනුවෙන් කිසිවකු එවන්නැයි දන්වා යැවීය. මෙසේද දන්වා යවන ලදී.

‘මගෙන් පසු මෙම රාජ්‍යය මෙහෙයවීමට කිසිවකු නැත. මා විසින් ගොඩ නගන ලද මෙම රාජ්‍යය නුඹට පවරා දෙමි.’[18] යනුවෙනි.

  1. රාජාවලියේ දක්වන්නේ සීහවල්ලි නමිනි. ↑

  2. මහාවංශය සුප්පාදේවී යනුවෙන් සඳහන් කර ඇති අතර රාජාවලියේ නම සඳහන් කර නොමැත. ↑

  3. මෙහි සීහ නම් පුද්ගලයෙකු බව සඳහන් වෙතත් ම: ව: වනයේ විසූ සිංහයෙකු බව පෙන්වා ඇත. නවීන විද්‍යාවට අනුව මිනිස්කාන්තාවක් තිරිසන් සතෙකු හා සංවාසවීමෙන් දරුවන් හට නොගන්නා බව පෙන්වයි. ↑

  4. ම: ව: පෙන්වන්නේ සුප්පා දේවියගේ මාමා කෙනෙකු පුතෙකු වූ සෙන්පතියෙකු වසන ප්‍රදේශයට මේ මව් හා සොහොයුරු සොහොයුරියන් පැන ආ, බවත් එහිදී සිංහයා දරුවන් සොයා පැමිණි විට සිංහබාහු ඔහු මරාදැමූ පසු රාජ්‍ය ඔහුට දුන් බවත් පසුව එය මාමාට පවරා තමා සිංහයා සිටි ප්‍රදේශයේ සිංහපුරය කොට සිහසීවලී හා වාසය කල බවත්ය. ↑

  5. මඃ වඃ පළමු, දෙවන තෙවන වර පියරජ සිංහබාහු විජයට අවවාද කල බවත් ඔහු එය නොපිළිගත් නිසා රටින් පිටුවහල් කළ බවත් දැක්වේ. ↑

  6. මහාවංශයේ සඳහන් වෙන්නේ විජය ඇතුළු ඔහුගේ පිරිස හිස් අඩක් මුඩුකරවා සත් සියක් පිරිස එකම නැවක ගොඩකරවා මුහුදේ පාකර යැවූ බවය. එහෙත් 700ක් ගෙන යාමට තරම් විශාල නැව් එකල තිබූ බවක් ග්‍රීක් හෝ පර්සියන් වාර්තාවල සඳහන් නොවේ. කෙසේ වෙතත් විවිධ වාර්තා අනුව වයඹ දිග ඉංදියාව හා ලංකාව අතර මෙකල වෙළඳ සම්බන්ධතා පැවති බව පෙනේ. ↑

  7. මඃ වඃ අවස්සක නම සඳහන් නොවන අතර ස්ත්‍රීන් සිටි නැව මහින්ද දිවයිනට ගිය බව දක්වා ඇත. ↑

  8. ම: වං: සඳහන් වන්නේ විජයගේ සහචරයන් මෙවැනි සාහසික ක්‍රියා කල නිසා ඔහු භයට පත්ව යළිත් නැව් නැග පැමිණි බවය. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝවිද්‍යාවේ පෙන්වා දෙන්නේ ආදිතිරිසන් බවේ රක්තානු(ඉඩ්) නවීන මිනිසා දක්වා ක්‍රියා කරන බවත් විවිධාකාරයෙන් දැනුවත්කම් ලැබූ මිනිසුන් ඒවා පාලනය කරමින් යහපත්වන බවය. ඒ අනුව විජය පිටුවහල් කිරීමෙන් පසු ඔහු අද්දැකීම් මත සැකසිතන ඔහුගේ සහචරයන්ට තම හැඟීම් පාලනය කිරීමට නොහැකි වන්නට ඇත. මෙම ඓතිහාසික රක්ත ප්‍රසාරණය ‘ඉඩ්’ යනුවෙන් හඳුන්වා තිබේ. ↑

  9. උපුල්වන් විෂ්ණු එකම දෙවියන් වශයෙන් හඳුන්වයි. ↑

  10. ම: වංශයේ විජය භාරුකච්චයේ සිටි කාලය සඳහන් නොවන අතර විජයද තම පිරිස සේ හැසුරුණු බව පෙන්වයි. ↑

  11. ම: වං: මෙම තම්බපණ්ණි දේශය ඇතිවීම පිළිබඳව සඳහන් නොවන අතර කුවේණිය පිළිබඳවත් කුවේණියගේ සේවිකාවක් බැල්ලකගේ වෙසින් පැමිණි බවත් විජයගේ පිරිස හමුවූ ආකාරයත් දැක්වේ. කෙසේ වෙතත් විවිධ මූලාශ්‍රවල “තම්බපණ්ණි” නම සඳහන්ය. ක්‍රි. පූ. 543 දී විජයලංකාවට පැමිණි බව කොඩ්රින්ටන් මහතා ස්ථිරවම පවසයි. ගෛගර් පඬිතුමා පවසන්නේ ක්‍රි. පූ. 483 දී බවයි. ↑

  12. මෙය මහාතිත්‍ථ වරාය අසල පිහිටි මහාතිත්‍ථනගරය විය හැකිය. නූතන මන්නාරම අසල පිහිටි ඓතිහාසික නගරයෙන් දැනුදු විවිධ කාසි මතුවේ. දෙස් විදෙස් වෙළඳුන් විවිධ බඩුගෙන මෙම වෙළඳ පොලට පැමිණ ඇත. ↑

  13. ම: ව: සඳහන් වන්නේ අනුරාධ නම් ඇමතිවරයා ඉදිකල බවකි. නමුත් මෙහි නක්කත්ත නාමකො’ යන්නෙන් පැහැදිලි වන්නේ නැකත් ශාස්ත්‍රය හා සම්බන්ධ ඇමතියෙකු සිටි බවයි. ඔහුගේ නම අනුරාධ විය හැකිය. ඔහු වඩාත් හොඳ නැකතකින් එම නගරයෙ ඉදිකරන්නට ඇත. අවුරුදු 1500ක් එම නගරය කල්පැවතියේ ඒ නිසාවිය හැකිය. ↑

  14. පණ්ඩුවාසුදේව පැමිණීමෙන් පසු ප්‍රධාන නගරය වශයෙන් මෙය යොදාගන්නා ලදී. ↑

  15. ක්‍රි. පූ. 543-505 විජය රජු රාජ්‍ය මෙහෙයවූ කාලයයි. මේ කාලයේ චීනයේ කොම්පියුසිස්තුමා තම ආගම ප්‍රචාරය කෙරිණ. ඔහු වාසය කළේ ක්‍රි. පූ. 550-479 අවදියේදීය. එසේම ක්‍රි. පූ. 537 දී පර්සියන් අධිරාජ්‍යාවූ සයිරස් රජතුමා ඉංදියාව හා ග්‍රීසිය ආක්‍රමණය කරන ලදී. ඉංදීය භටයන් ග්‍රීසයට යවන ලද්දේ ඔහු විසිනි. ↑

  16. විජය කුවේණිය අතහැරීම පිළිබඳ පුවතත්; පණ්ඩුකුමරිය පාවා ගැනීමේ කථාවත්, විජයගේ දරුවන් හා වැදි පරපුර පිළිබඳවත් මෙහි සඳහන් නොවේ. මේ පිළිබඳ විස්තර ම: ව: 7 පරි. දක්වා ඇත. ↑

  17. ම: ව: හස්නක් යැවූ බව සඳහන් වේ. මහින්දාගමනයට පෙර මෙහි අක්‍ෂර කලාවක් තිබූ බව වාග් විද්‍යාඥයෝ පෙන්වා දෙති. ↑

  18. ම: ව: කියූ වදන් පිළිබඳව සඳහන් නොවේ. දී. ව. ලියන විට ජනප්‍රවාදයේ තිබූ මෙම වදන් එම කතුවරයා මෙසේ ඇතුළත් කරන්නට ඇත. එසේම මෙම ප්‍රකාශයෙන් සුමිත්ත සිංහපුරයේ රජකරන බව විජය දැන සිටි බවද පෙනීයයි. ↑