දුක් ඇති තැන් වලින් ඉතා ම රෞද්‍ර දුක ඇති තැන නරකය යි. නරකයෝ බොහෝ ගණනකි. ඒ ඒ නරකයන්හි නොයෙක් ආකාර වූ භයානක දුක් ඇත්තේය. ගින්නෙන් දවනු ලැබීම, ගිනියම් වූ යපොළොවෙහි තබා හුල් ගසනු ලැබීම, වෑ පොරෝ ආදියෙන් ශරීරය කපනු ලැබීම, කඳක් සේ දැලි නූල් ලා කියතින් කපනු ලැබීම, ලෝදිය (හුණු වූ තඹ) පෙවීම, ගිනියම් වූ යගුලි ගිල්වීම, පෙරළෙන පර්වත වලින් යට කොට අඹරනු ලැබීම, ද්වාරයන්ගෙන් ශරීරය ඇතුළට වැද දමනු ලබන දුම් වලින් ශරීරය තවනු ලැබීම, ලොහොතුඩු ඇති කවුඩු ගිජුලිහිණි ආදීන් විසින් කොටා ඇඟ මස් කඩා ගනු ලැබීම, ගවයන් මෙන් කරත්තවලට බැඳ බර අදවනු ලැබීම, දැලිපිහියා මෙන් කැපෙන තණ හා කඩු මෙන් කැපෙන කොළ ඇති ගස් ද ඇත්තා වූ ප්‍රදේශයන්හි මුළු සිරුරට කැපෙන තුරු ඒ මේ අත දුවවීම, මුළු සිරුරම කැපී ලේ තැවරුණු මස් කැබැල්ලක් මෙන් වූ කල්හි කරදිය ගංගාවලට ඇද දමන් ලැබීම, නිරි සතුන්ගේ සම විද, මස් විද, ඇටමිදුලු, කන්, පුවක් ගස්, පොල් ගස්, කිතුල් ගස් පමණ ලොහො තුඩු ඇති මහ පණුවන් වෙසෙන, කැකෑරෙන අසුචි වලවලට ඇද දැමීම යනාදිය නරකයෙහි ඇත්තා වූ දුක්වලින් සමහරෙකි.
නරකයෙහි දුඃඛය සර්වාකාරයෙන් කියතහොත් කෙනකු විසින් අවුරුදු සියයක් මුළුල්ලෙහි කියා ද දහසක් මුළුල්ලෙහි කියා ද අවසානයට පැමිණ විය නො හැක්කේය. එක දවසක් බුදුරජාණන් වහන්සේ නරක දුඃඛයාගේ මහත්ත්වය දැක්වීමට උපමා ද සුලභ නො වන බව වදාළ සේක. එකල්හි එක් භික්ෂුවක් නරක දුඃඛයාගේ මහත්ත්වය උපමාවකින් වදාරනු මැනවයි සැළ කෙළේය. බුදුරජාණන් වහන්සේ ද උපමාවකින් නරක දුඃඛය දක්වා වදාරන සේක් “මහණෙනි! රාජපුරුෂයෝ සොරකු අල්වා රජු ඉදිරියට ගෙන ගොස් ‘දේවයන් වහන්ස! මොහු සොරෙක, මොහුට කැමති දඬුවමක් නියම කරනු මැනවැ’යි කියන්නාහ. රජ තෙමේ ඔවුනට ‘මේ සොරා ගෙන ගොස් උදෑසන ඔහුගේ ශරීරය සිදුරුවන සේ යහුල් පහර සියයක් අනිව්’ යයි කියන්නේය. රජ අණ පරිදි ඔහුට රාජපුරුෂයෝ යහුල් පහර සියයක් අනින්නාහුය.
ඉක්බිති රජ තෙමේ දවල් කාලයේ සොරාට කුමක් වී දැයි අසන්නේය. රාජපුරුෂයෝ ‘දේවයන් වහන්ස සොරා ජීවත්ව සිටින්නේය’ යි කියන්නාහු ය. එකල රජතෙමේ දවාලෙහි ද නැවත සොරුට යහුල් සියයක් අණින්නට අණ කරන්නේය. රජතුමා සවස් කාලයෙහි ද සොරා ගැන අසන්නේය. රාජපුරුෂයෝ ‘සොරා තවම ජීවත් වන්නේය’ යි රජුට කියන්නෝය. රජතුමා නැවත සවසත් ඔහුට යහුල් පහර සියයක් අනින්නට නියම කරන්නේ ය. රාජපුරුෂයෝ ඔහුට සවස ද යහුල් පහර සියයක් අණින්නාහු ය. කිමෙක්ද මහණෙනි! ඒ පුරුෂයා යහුල් පහර තුන් සියයක් ඇණුම් කෑමෙන් දුකට දොම්නසට පත්වූයේදැ” යි විචාළ සේක. එකල්හි භික්ෂූහු “ස්වාමීනි! එක යහුල් පහරකින් ම ඔහුට දුකක් දොම්නසක් වන්නේ ය. යහුල් පහර තුන් සියයකින් මහත් වූ දුකක් දොම්නසක් වන බව කියනුම කවරේදැ” යි සැළකළාහු ය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුඩා වූ ගල් කැටයක් අතට ගෙන “මහණෙනි! මා විසින් ගන්නා ලද කුඩා වූ ගල් කැටයෙනුත් හිමාලය පර්වත රාජයාගෙනුත් කවරක් වඩා මහත් වන්නේදැ” යි විචාළ සේක. භික්ෂූහු “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ විසින් ගන්නා ලද ගල් කැටය හිමාලය පර්වතයෙන් දහසින් පංගුවකුදු නො වන්නේය. දස දහසින් පංගුවකුදු ලක්ෂයකින් පංගුවකුදු නො වන්නේය. හිමාලය පර්වතය හා සංසන්දනය කළයුතු දෙයක් ද නො වන්නේය” යි සැළ කළෝය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි! එපරිද්දෙන් ම ඒ පුරුෂයා හට යහුල් පහර තුන් සියයකින් අනිනු ලැබීමෙන් වූ දුක නරකයෙහි දුකින් දහසින් පංගුවකුදු දස දහසින් පංගුවකුදු ලක්ෂයෙන් පංගුවකුදු නොවන්නේ ය. නරක දුඃඛය හා සංසන්දනය කොට කථා කළ යුතු දෙයකුදු නො වන්නේය.” යි වදාළ සේක.
නරකයෙහි පතිත වූ සත්ත්වයන් විසින් ලබන ඒ මහත් වූ දුඃඛය මහත් වූ සන්තාපය ඒ ස්කන්ධ පඤ්චකය නැතහොත් ඔවුනට නො වන්නේය. ඒ ස්කන්ධ පඤ්චකය පවත්නා තුරු ඒ දුක ද පවත්නේය. එබැවින් ඒ දුක නේරයික ස්කන්ධ පඤ්චකයෙන් ම කරන පීඩනයෙකි. තැවීමකි. එබැවින් නේරයික ස්කන්ධ පඤ්චකය ද දුඃඛ සත්‍යය වන්නේය.
මෙසේ භවාග්‍රයෙහි පටන් අවීචි මහා නරකය දක්වා ඇති ලෝකයෙහි ඒ ඒ භූමීන්හි වෙසෙන කුඩා වූ මහත් වූ ද සකල සත්ත්වයන් පිළිබඳ වූ ස්කන්ධයන් “පීළනට්ඨො, සඞ්ඛතට්ඨො, සන්තාපට්ඨො, විපරිණාමට්ඨො” යනුවෙන් දක්වන ලද සත්ත්වයන් පෙළන බව හා තමා ද පෙළෙන බවය, නැවත නැවත උපදවා ගත යුතු බවය, තැවෙන තවන බවය, විනාශ වී යන බවය යන චතුර්විධ දුඃඛ ස්වභාවයෙන් යුක්ත වන බැවින් ඒකාන්තයෙන් දුක් ගොඩක් බව දත යුතුය. ඒ දුටු තැනැත්තේ දැකීමට අතිශයින් දුෂ්කර වූ දුඃඛාර්‍ය්‍ය සත්‍යය දුටුවෙක් වන්නේය.