ලෝකෝත්තර මාර්ගයේ ඇති සත්ත්ව සන්තානයට අධිපතිකම් කරන ස්වභාවය ආධිපතෙය්‍යට්ඨ නමි. අධිපති කම් කිරීමය යනු තමාට අනුකූල කර ගැනීම ය. පෘථග්ජනයාගේ සන්තානයට තෘෂ්ණාව අධිපතිකම් කරයි. එබැවින් පෘථග්ජන පුද්ගලයා පින් කරන්නේ ද බොහෝ සෙයින් තෘෂ්ණාවට ආහාර වූ භවභෝග සම්පත් පිණිස ම කරයි. සෝවාන් මාර්ගයට පැමිණි තැන් පටන් ආර්‍ය්‍ය පුද්ගලයාගේ සන්තානයට අධිපතිකම් කිරීමට තෘෂ්ණාව නො සමත් වෙයි. අවශේෂ ක්ලේශයෝ ද සමත් නො වෙති. තෘෂ්ණාධිපත්‍යයෙන් මිදුණා වූ සෝවාන් පුද්ගලයාගේ සන්තානයට මාර්ගය ම අධිපතිකම් කරයි. එබැවින් සේවාන් පුද්ගලයා අපායෝත්පත්තියට හේතුවන අකුශලයක් නො කරයි. පින් කරන්නේ ද සසර දික් කර ගැනීම පිණිස නො ව කෙටි කර ගැනීම පිණිස ම කරයි. මෝක්ෂය සඳහා ම කරයි. එබැවින් සෝවාන් පුද්ගලයාගේ තෘෂ්ණා ග්‍රහණයෙන් මිදුණා වූ කුසලයෝ පරිශුද්ධ වෙති. අපායෝත්පත්තියට හේතුවන පව්කම් නො කිරීම ය, සසර දික් කර ගැනීමට පින්කම් නො කිරීමය, ත්‍රිවිධ රත්නය නො හැරීම ය, අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට නො සෙවීම ය යනාදිය සෝවාන් මාර්ගයාගේ ආධිපතෙය්‍යට්ඨය නිසා සෝවාන් පුද්ගලයාට ලැබෙන ආනිසංසයෝ ය. මතු මාර්ගයන්ගේ ආධිපතෙය්‍යට්ඨ ද කියන ලද නයින් සලකා ගත යුතු ය.
මාර්ග සත්‍යය හෙවත් මිදීමේ නො වරදින ක්‍රමය කවරෙක්දැයි සෙවිය යුත්තේ කියන ලද ලක්ෂණයන්ගේ හෙවත් ස්වභාවයන්ගේ වශයෙනි. යමක නීය්‍යානට්ඨය යි කියන ලද සසරින් එතර කරන ස්වභාවය ද, හේතුට්ඨය යි කියන ලද නිවන් ලැබීමට හේතුවන ස්වභාවය ද, දස්සනට්ඨය යි කියන ලද ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවන දක්නා ලද ස්වභාවය ද, ආධිපතෙය්‍යට්ඨය යි කියන ලද අධිපති ස්වභාවය ද යන මේ සතර ඇත්තේ නම් එය සත්‍ය වූ දුකින් මිදීමේ මාර්ගය ය. සම්මාදිට්ඨි ආදි අංග අටක් ඇත්තා වූ මේ මාර්ගයෙහි ඒ ස්වභාවය සතර ඒකාන්තයෙන් ඇත්තේ ය. අනෙකක ඒ ස්වභාව සතර නැත්තේ ය. එබැවින් තථාගතයන් වහන්සේ සම්මාදිට්ඨි ආදි අංග අටින් යුක්ත වූ ලෝකෝත්තර මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය යි වදාළ සේක.