රහතන් වහන්සේ

සෘධිප්‍රාතිහාර්ය්‍ය කිරීමෙහි සමත් ඇතැම් අභිඥාලාභී රහතන් වහන්සේලාගේ පුවත් ඇසූ බොහෝ බෞද්ධයෝ අර්හත්වය නම් අහසින් යාම, නො පෙනී යාම, අනුන්ගේ සිත් දැනීම යනාදි පුදුම දේ කළ හැකි, සිතූ දේ කළ හැකි තත්ත්වයකැයි වරදවා පිළිගෙන සිටිති. රහතන් වහන්සේලා අතර සෘධිප්‍රාතිහාර්ය්‍ය කිරීමෙහි සමත් වූ බව සත්‍යයෙකි. එහෙත් සියලු රහතන් වහ්සේ ම ප්‍රාතිහාර්යය කිරීමෙහි සමත්හු නො වෙති. බුදුසස්නෙහි රහත් වූ බොහෝ දෙනා සෘධිප්‍රාතිහාර්ය්‍ය නැති ශුෂ්ක විදර්ශකයෝ ය. සෘධිප්‍රාතිහාර්ය්‍ය කළ හැකි බව අර්හත්වයේ අඞ්ගයක් නොවේ. අර්හත්වය ලෝකෝත්තර තත්ත්වයකි. සෘධිප්‍රාතිහාර්ය්‍ය රහතුන් විසින් කරනු ලබන්නේ ද අර්හත්වයේ අනුහසින් නොව ලෞකික ධ්‍යාන බලයෙනි. ධ්‍යානලාභී පෘථග්ජනයෝ ද සෘධිප්‍රාතිහාර්ය්‍ය කිරීමට සමත් වෙති. අර්හත්වය කුමක්දැ යි ජම්බුවාද පිරිවැජි සැරියුත් මහතෙරුන් වහන්සේගෙන් විචාළ කල්හි උන් වහන්සේ ඔහුට පිළිතුරු දුන්නේ “යෝ ඛෝ ආවුසේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති අරහත්තං” යි “ඇවැත්නි, යම් රාගක්ෂයයක් ද්වේෂක්ෂයයක් මෝහක්ෂයයක් වේ ද රය අර්හත්වය”යි කියනු ලැබේ ය කියා ය. එයින් දැක්වෙන්නේ රාග ද්වේෂ මෝහයන් ක්ෂය කළ තැනැත්තා රහතුන් වහන්සේ බව ය. ඛන්ධවග්ග සංයුත්තයේ සූත්‍ර‍යක රහතන් වහන්සේ හඳුන්වා ඇත්තේ මෙසේ ය.

1. සුඛිනෝ වත අරහන්තෝ

තණ්හා තේසං න විජ්ජති,

අස්මිමානෝ සමුච්ඡින්නෝ

මෝහජාලං පදාලිතං.

.

2. අනේජං තේ අනුප්පත්තා

චිත්තං තේසං අනාවිලං,

ලෝකේ අනුපලිත්තා තේ

බ්‍ර‍හ්මභූතා අනාසවා.

.

3. පඤ්චක්ඛන්ධෙ පරිඤ්ඤාය

සත්ත සද්ධම්ම ගෝචරා,

පසංසියා සප්පුරිසා

පුත්තා බුද්ධස්ස ඕරසා.

.

4. සත්තරතන සම්පන්නා

තීසු සික්ඛාසු සික්ඛිතා

අනුවිචරන්ති මහාවීරා

පහීණ භය භේරවා.

.

5. දසහඞ්ගේහි සම්පන්නා

මහානාගා සමාහිතා

ඒතේ ඛෝ සෙට්ඨා ලෝකස්මිං

තණ්හා තේසං න විජ්ජති.

.

6. අසේඛඤාණං උප්පන්නං

අන්තිමෝයං සමුස්සයෝ

යෝ සාරෝ බ්‍ර‍හ්මචරියස්ස

තස්මිං අපරපච්චයා.

.

7. විධාසු න විකම්පන්ති

විප්පමුත්තා පුනබ්භවා

දන්තභූමිං අනුප්පත්තා

තේ ලෝකේ විජිතාවිනො.

.

8. උද්ධං තිරියං අපාචීනං

නන්දි තේසං න විජ්ජති

නදන්ති තේ සීහනාදං

බුද්ධා ලෝකේ අනුත්තරා.

(ඛන්ධකවග්ග සංයුත්ත)

ගාථාවල තේරුම:-

  1. රහත්හු ඒකාන්තයෙන් සැප ඇත්තෝ ය. ඔවුනට අපාය දුඃඛය ඇති කරන තණ්හාව ඇත. නව වැදෑරුම් මානය ඔවුන් විසින් නසන ලද්දේ ය. අවිද්‍යා නමැති දැල පලන ලද්දේ ය.
  2. ඔවුහු ඒජා සංඛ්‍යාත තණ්හාව නැති අර්හත්වයට පැමිණියෝ ය. ඔවුන්ගේ සිත නො කැළඹුණේ ය. ඔවුහු තෘෂ්ණා දෘෂ්ටි ලාටුයෙන් ලෝකයෙහි නො ඇලුණෝ ය. ලෝකයෙහි ශ්‍රේෂ්ඨ වූවෝ ය. කාමාදි ආශ්‍ර‍ව රහිතයෝ ය.
  3. රූපාදි ස්කන්ධයන් පිරිසිඳ දැන සප්තවිධ සද්ධර්‍මය ගොදුරු කොට ඇත්තෝ ය. ප්‍ර‍ශංසා කළ යුත්තෝ ය. සත්පුරුෂයෝ ය. බුදුරදුන්ගේ ඖරස පුත්‍රයෝ ය.
  4. සප්තබෝධ්‍යඞ්ග රත්නයන් ඇත්තෝ ය. අධිශීල අධිචිත්ත අධිප්‍ර‍ඥා සංඛ්‍යාත ත්‍රි ශික්ෂාවෙහි හික්මුණෝ ය. ඒ මහා වීරයෝ කුඩා මහත් භයින් තොරව ලෝකයෙහි හැසිරෙති.
  5. අඞ්ග දශයකින් යුක්ත වූ උපචාරාර්පණා සමාධි ඇත්තා වූ මහානාගයන් වූ ඔවුහු ලෝකයෙහි ශ්‍රේෂ්ඨයෝ ය. ඔවුනට තණ්හාව නැත්තේ ය.
  6. ඔවුනට අර්හත් ඵලඥානය උපන්නේ ය. මේ ඔවුන්ගේ අන්තිම ආත්මභාවය ය. ශාසනප්‍ර‍තිපත්තියෙහි සාරය වූ අර්හත්ඵලය තමන් විසින් ම ප්‍ර‍ත්‍යක්ෂ කර ඇති බැවින් ඒ සඳහා අනුන් කෙරෙහි විශ්වාසයක් තබා ක්‍රියා කිරීමක් නැත්තෝ ය.
  7. ඒ රහත්හු මානය කරණ කොට සැලීමක් නැත්තෝ ය. පුනර්භවයෙන් මිදුණෝ ය. දන්තභූමිය යි කියනු ලබන අර්හත්වයට පැමිණියෝ ය. රාගාදි ක්ලේශයන් පරදවා සිටින්නෝ ය.
  8. උඩ යට මැද යන සෑම තන්හි තණ්හාවක් ඒ රහතුන්ට නැත්තේ ය. චතුස්සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වූ ලෝකයෙහි තමන්ට උසස් කෙනකුන් නැත්තා වූ ඒ රහත්හු අභීතනාද සංඛ්‍යාත සිංහනාදය පවත්වත්.

බොහෝ රහත්ගුණ දැක්වෙන මේ ගාථාවල සෘධි ප්‍රාතිහාර්‍ය්‍ය කිරීමෙහි සමත් බව රහත් ගුණයක් ලෙස දක්වා නැත්තේ ය.