මගපල ලැබීම

ස්කන්ධයන් අනිත්‍ය-දුඃඛ-රෝග-ගණ්ඩාදි වශයෙන් විදර්ශනා කරන යෝගාවචරයාගේ සන්තානයෙහි ලෞකික මාර්ගාඞ්ග වශයෙන් ක්‍ර‍මයෙන් වැඩෙන මාර්ගාඞ්ග ධර්මයන් දියුණු වූ පසු යෝගාවචරයා භාවනාවෙහි යෙදී සිටින යම්කිසි හොඳ අවස්ථාවකදී ඒ මාර්ගාඞ්ග ධර්මයෝ නිවන අරමුණු කෙරෙමින් ක්ලේශ ප්‍ර‍හාණ ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයෙන් එක්වර සියල්ල එකට බැඳී ඒ යෝගාවචරයා ගේ සන්තානයෙහි පහළ වේ. ඒ සෝවාන් මාර්ගය ය. සෝවාන් මාර්ගය සන්තානයෙහි පහළ වීමෙන් අනාදිමත් සංසාරයෙහි අති දීර්ඝකාලයක් නැවත නැවත අපායවල වැටෙමින් පෘථග්ජනයකු වශයෙන් සසර සැරිසැරූ යෝගාවචරයා ලාමක වූ පෘථග්ජන භාවයෙන් නැඟී ආර්ය පුද්ගලයෙක් වන්නේ ය. ඔහු සසර පමා වුව ද නැවත අපායකට නො පැමිණෙන්නේ ය. යම්කිසි දිනකදී රහත්ව පිරිනිවීමට නියත පුද්ගලයෙක් වන්නේ ය. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටි විචිකිත්සා නමැති කෙලෙස් දෙක ඉතිරියක් නැති පරිදි මතු කිසි කලෙක අනාගත භවයකදී වුව ද ඇති නොවන පරිදි ප්‍ර‍හාණය වේ. අවශේෂ රාග ද්වේෂාදි ක්ලේශයෝ ද තුනී වෙති. තුනී වීමය යනු පෘථග්ජනයන්ට මෙන් නිතර ඇති නො වීම හා ඇති වුව ද අන්සතු දෙය පැහැර ගන්නා තරමට තදින් ඇති නො වීම ය. සෝවාන් පුද්ගලයාට කලාතුරකින් කෙලෙස් ඇති වුව ද ඔහු අතින් අපායෝත්පත්තියට හේතු වන පව්කම් සිදු නො වේ. සෝවාන් පුද්ගලයකු වීම චක්‍ර‍වර්ති රජකු වීමට ද වඩා උසස් බව තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. චක්‍ර‍වර්තී රජතෙමේ මිනිස් ලොව මුළු පොළවට ම අධිපතිව සිට මරණින් මතු දෙව්ලොව ඉපද එහි නන්දන වනාදියෙහි දෙවඟනන් පිරිවරා දිව්‍යමය පඤ්චකාම සම්පත්තියෙන් සතුටු වෙමින් වාසය කෙරේ. එහෙත් අපායට ගෙන යන ක්ලේශයෝ ඔහු තුළ ඇත්තාහ. ඔහු ඒ දිව සැප විඳින්නේ මතු නරකයට යන, තිරිසන් බවට පැමිණෙන, ප්‍රේත බවට පැමිණෙන ස්වභාවය තිබියදී ම ය.

“කිඤ්චාපි භික්ඛවේ අරියසාවකෝ පිණ්ඩියාලෝපේන යාපේති නන්තකානි ධාරේති. යෝ චතූහි ධම්මේහි සමන්නාගතෝ. අථ ඛෝ සෝ පරිමුත්තෝ නිරයා, පරිමුත්තෝ තිරච්ඡානයෝනියා, පරිමුත්තෝ පෙත්තිවිසයා, පරිමුත්තෝ අපායදුග්ගති විනිපාතා.”

යනුවෙන් “මහණෙනි ආර්යශ්‍රාවක තෙමේ ඉදින් පිඬු සිඟා ලබන භෝජනයෙන් යැපෙන්නේ ද රෙදි කැබෙලි හඳින්නේ ද ඔහු සෝතාපත්ති අඞ්ග සතරින් යුක්ත ය. ඔහු නරකයෙන් මිදුණෙක, තිරිසන් යෝනියෙන් මිදුණෙක, ප්‍රේත භාවයෙන් මිදුණෙක, අපාය සඞ්ඛ්‍යාත දුර්ගතියට වැටීමෙන් මිදුණෙකැ”යි සෝතාපත්ති සංයුත්තයේ වදාරා ඇත්තේ ය.

සෝවාන් පුද්ගලයාගේ අඞ්ග සතර නම්:-

“බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. ධම්මේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති. සඞ්ඝෙ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති, අරියකන්තේහි සීලේහි සමන්නාගතො හෝති.”

යනුවෙන් දැක්වෙන බිය ගැන්වීම් ධනය දීම් තනතුරු දීම් ආදි කිසි ම ක්‍ර‍මයකින් කිසිවකුට මඳකුදු සෙලවිය නොහෙන පරිදි බුදුන් වහන්සේ කෙරෙහි පැහැදීම් ඇති බව, ධර්මය කෙරෙහි එබඳුම පැහැදීම් ඇති බව, සඞ්ඝයා කෙරෙහි එබඳු පැහැදීම ඇති බව, ආර්ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත බව යන කරුණු සතර ය. ආර්යකාන්ත ශීලය යනු වරින් වර ඇතැම් සිකපද නො කඩා ස්ථිර ලෙස රක්ෂා කරන ශීලය ය.

සෝවාන් පුද්ගලයා විසින් තමා කෙරෙහි අප්‍ර‍හීණ ක්ලේශයන් ප්‍ර‍හාණය කරනු පිණිස නැවතත් පෙර පරිදි ම ස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ රෝගාදි වශයෙන් විදර්ශනා කළ යුතු ය. එසේ කරන කල්හි යම් කිසි අවස්ථාවක දී නැවතත් අෂ්ටාඞ්ගික මාර්ගය පළමු වාරයේ ඇති වූවාට වඩා දියුණු තියුණුව වඩා ශක්තියෙන් යුක්තව නිර්වාණය අරමුණු කෙරෙමින් ඒකක්ෂණයෙහි ඇති වේ. දෙවන වර ඇතිවන ඒ ලෝකෝත්තර මාර්ගයට සකෘදාගාමි මාර්ගයයි කියනු ලැබේ. එහි බලයෙන් සෝවාන් මාර්ගයෙන් අප්‍ර‍හීණව ඉතිරිව තිබූ ක්ලේශයෝ තවත් තුනී වී යෙති. සකෘදාගාමී ආර්යශ්‍රාවකයා විසින් ද ඉතිරි ක්ලේශයන් ප්‍ර‍හාණය කොට අනාගාමි වීම සඳහා නැවත ද පෙර සේම විදර්ශනා කළ යුතු ය. එසේ කරන කල්හි යම්කිසි අවස්ථාවක දී නැවත ද නිර්වාණය අරමුණු කරමින් මාර්ගාඞ්ග ධර්ම අට ලෝකෝත්තරත්වයෙන් ඒකක්ෂණයෙහි පහළ වේ. තුන්වන වර පහළ වන ඒ ලෝකෝත්තර මාර්ගය අනාගාමී මාර්ගය ය. එහි බලයෙන් සෝවාන් සකෘදාගාමී මාර්ගවලින් තුනී වී තුබූ කාමරාග ව්‍යාපාද යන ක්ලේශයෝ දෙදෙන නිරවශේෂයෙන් ප්‍ර‍හාණය වෙති. එබැවින් අනාගාමි පුද්ගලයා ඒ ආත්මභාවයේදී ම රහත් නුවූව ද කාම ලෝකයෙහි නූපදී. අනාගාමී පුද්ගලයා විසින් තමාට ඉතිරි වී ඇති රූපරාග අරූපරාගාදි ක්ලේශයන් ප්‍ර‍හාණය කොට අර්හත්වයට පැමිණීම පිණිස-

“අනාගාමිනා පි ඛෝ ආවුසෝ කොට්ඨිත, භික්ඛුනා ඉමේ පඤ්චුපාදානක්ඛන්ධා අනිච්චෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්බා” යි

වදාරා ඇති පරිදි උපාදානස්කන්ධ පස අනිත්‍යාදි වශයෙන් විදර්ශනා කළ යුතුය. එසේ කරන අනාගාමී පුද්ගලයාගේ සන්තානයෙහි සතරවන වරට ද නිවණ අරමුණු කෙරෙමින් මාර්ගාඞ්ග ධර්ම අට මහා බලයෙන් යුක්තව ඒකක්ෂණයෙහි පහළ වේ. එය අර්හත්මාර්ගය ය. එය පහළ වූ කල්හි අනාගාමී මාර්ගයෙන් අප්‍ර‍හීණව ඉතිරිව තිබූ සකල ක්ලේශයෝ ම මතු නූපදනා පරිදි නිරවශේෂයෙන් දුරු වෙති. අර්හත්වය බුදුසසුනෙහි පිළිවෙත් පිරීමේ අවසානය ය.

“යාවතා භික්ඛවෙ සත්තාවාසා යාවතා භවග්ගං ඒතේ අග්ගා ඒතේ සෙට්ඨා ලෝකස්මිං යදිදං අරහන්තෝ”

යනුවෙන් “සකලක්ලේශයන් ප්‍ර‍හාණය කොට ශාසන බ්‍ර‍හ්මචරියාව නිම කළ යම් රහත්හු වෙත් ද ඔවුහු භවාග්‍ර‍ය දක්වා ලෝකයෙහි අග්‍ර‍පුද්ගලයෝ ය. ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇත්තේ ය.