7. ආබාධා

සත්වන භාවනා පදය.

රූපාදි ස්කන්ධයෝ ආබාධයෝ ය.

ශීර්ෂාබාධ, හෘදයාබාධ, උදරාබාධාදි ආබාධ ඇත්තහුගේ ශරීරය වැසි, පිනි, සුළං ආදියට ඔරොත්තු නොදෙන බැවින් ඔහුට රිසි සේ හැසිරීමට, රිසි සේ කෑමට බීමට, ගමන් යාමයට, වැඩ කිරීමට ඉඩක් නැත. ආබාධ උත්සන්න වී ඇත්තේ නම් ඔහුට හිඳ ගැනීම, නැගිටීම, යාම යන මේවා ද නො කළ හැකිය. ශීර්ෂාබාධාදි විශේෂ ආබාධයක් නැත ද රූපස්කන්ධ සඞ්ඛ්‍යාත මේ කය දුබල බැවින් රෝගියකු සේ ශරීරය මෙන්ම වැසි, සුළං ආදියට ඔරොත්තු නො දෙන්නේ ය. සෑම ආහාරයක් ම ඔරොත්තු නො දෙන්නේ ය. සෑම වැඩකට ම ඔරොත්තු නො දෙන්නේ ය. ශරීරය ආත්මය කරගෙන සිටින්නහුට එය පවත්වා ගත හැකි වන්නේ පරෙස්සම් කළහොත් ය. ශරීරය පරෙස්සම් කිරීමේ කරදරය එය ආත්මය කර ගෙන සිටින්නහුට සෑම කල්හි ම ඇත්තේ ය. එබැවින් රූපස්කන්ධය ආබාධයෙකි. මේ රූපස්කන්ධය අනුන් විසින් නැගිටවන, ගමන් කරවන, කවන, පොවන රෝගියකුගේ ශරීරය සේ ම අතිදුබල ය. එයට නැඟී ගිය හැකි, යා හැකි ශක්තියක් නැත. ශරීරය ක්‍රියා කරන්නේ ආහාරයේ බලයෙනි. ආහාර නො ලද හොත් ශරීරය මහා රෝගියෙකි. පණ ගැන්වීම සඳහා රූපස්කන්ධයට ආහාර සැපයීමේ කරදරය සැම කල්හි ඇත්තේ ය. එය රූපස්කන්ධය නිසා ඇති ඉමහත් පීඩාවය. නිරන්තරයෙන් පීඩා කරන බැවින් රූපස්කන්ධය මහා ආබාධයෙකි. ශීර්ෂාබාධාදි දුක් දෙන ආබාධ, රූපස්කන්ධයක් නැති නම් නො හට ගන්නේ ය. නොයෙක් හේතූන් ගෙන් ආබාධ ඇති වෙතැ යි කියතත් රූපස්කන්ධයක් නැත හොත් ආබාධයක් නැත. රූප ස්කන්ධය ම ආබාධ ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව ය. එබැවින් රූපස්කන්ධය ම මහා ආබාධයකැයි කිය යුතු ය.

පඤ්චක්ඛන්ධෙ ආබාධතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනාබාධං නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.”

පස්දෙනකුන් වූ ස්කන්ධයන් ආබාධ වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාදනිරෝධය ආබාධ නැති නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගය ලබයි.