30. සාසවා

තිස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ආශ්‍ර‍වයන් ඇති කරන්නෝ ය.

කාමාසවය, භවාසවය, දිට්ඨාසවය, අවිජ්ජාසවය කියා ආසව නාමයෙන් දැක්වෙන සංස්කාරස්කන්ධයට අයත් ධර්ම සතරක් ඇත්තේ ය. රූපශබ්දාදි කාමයන් පිළිබඳ වූ ද කාමභවයට අයත් අවශේෂ සංස්කාරයන් පිළිබඳ වූ ද ආශාව කාමාසව නමි. රූපාරූප භවයන්හි ඉපදීමට හේතු වන ධ්‍යානකුශලය හා රූපාරූප භවයන් පිළිබඳ ආශාව භවාසව නමි. සත්කායදෘෂ්ට්‍යාදි දෘෂ්ටීහු දිට්ඨාසව නමි. මෝහය අවිජ්ජාසව නමි. සත්ත්වසන්තානයෙහි මේ ආසවයන් ඇති තාක් සත්ත්වයාහට පඤ්චස්කන්ධය හැර එයින් මිදී නිවනට නො පැමිණිය හැකි ය. දුකින් මිදී නිවනට පැමිණීමට නම් විදර්ශනා ඥානය දියුණු කොට එහි බලයෙන් ආසවයන් නැසිය යුතු ය. රහතන් වහන්සේය කියනුයේ විදර්ශනාඥානය දියුණු කොට අර්හත්මාර්ගඥානය උපදවා එහි බලයෙන් ආසවයන් සම්පූර්ණයෙන් දුරු කළ පුද්ගලයේ ය. උන්වහන්සේ වර්තමාන ස්කන්ධයන්ගේ නිරෝධයෙන් පසු නැවත අලුත් ස්කන්ධයන් නො ලබති. ඒ රහත්හු ආශ්‍ර‍වයන් නැසූ බැවින් ක්ෂීණාශ්‍ර‍ව නම් වෙති.

සත්ත්වයනට දුකින් මිදීමට ඉඩ නො දෙන ස්කන්ධ පඤ්චකයෙහි බැඳ තබන නිවන් මඟ අවුරන මේ ආසවයන් අන් තැනකින් එන්නවුන් නොව පඤ්චස්කන්ධයෙන් ඇති වන පඤ්චස්කන්ධයෙන් ම ගලා යන ඒවා ය. ලස්සන ගැහැනියක් පිරිමියෙක් හොඳ ගෙයක් වත්තක් කුඹුරක් වාහනයක් ඇඳුමක් පරිභෝග භාණ්ඩයක් ඇසට හමු වූ කල්හි දුටු දෙය බොහොම ලස්සනය බොහොම හොඳය නැවතත් එය බලන්න ඕනෑය, මටත් එවැන්නක් ලබා ගන්න ඕනෑය යනාදීන් ඇසින් කාමාසවය ගලා යයි. යම්කිසි ලෝකයක ඒවා ඕනෑ තරම් ඇත, එහි උපනහොත් ඒවා ලැබිය හැකිය කියා භවය පැතීම් වශයෙන් භවාසවය ඇසින් ගලා යයි. දුටු දෙය ස්ත්‍රියක පුරුෂයෙක කියා හෝ සත්ත්වයකු අයත් දෙයක කියා හෝ ඒවා දෙවියන් මැවූ දෙවියන් දුන් ඒවාය කියා හෝ සැලකීමේ දී දිට්ඨාසවය ගලා යයි. කාමාසවාදීන් ගලා යන කල්හි ඒවා අනුව ඒවා හා බැඳී අවිජ්ජාසවය ද ගලා යයි. කනට හඬ වැදීමෙන් ද, නැහැයට ගන්ධයන් වැදීමෙන් ද, දිවෙහි රස වැදීමෙන් ද, කයෙහි ඒ ඒ දේ ගැටීමෙන් ද, මනසට නොයෙක් දේ අරමුණු වීමෙන් ද ඒ ද්වාරවලින් ආසවයෝ ගලා යෙති. පඤ්චස්කන්ධයක් නැතහොත් ආසව නැති බැවින් පඤ්චස්කන්ධන් ම ආසව ඇතිවීමේ ප්‍ර‍ධාන හේතුව බව සැලකිය යුතු ය.

“පඤ්චක්ඛන්ධෙ සාසවතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනාසවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.

“පඤ්චස්කන්ධයන් ආසවයන් ඇති කරනුවන් වශයෙන් දක්නා යෝගාවචරතෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනාඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය ආසව විරහිත නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී.