23. අනත්තා

තෙවිසිවන භාවනා පදය.

ස්කන්ධයෝ ආත්ම නොවන්නෝ ය.

කර්ම චිත්ත සෘතු ආහාර යන ප්‍ර‍ත්‍යයන්ගෙන් අනේකප්‍ර‍කාර රූපයෝ ඉපද දිරා බිඳී යෙති. තමන්ගේ බලයෙන් තොරව අන් හේතුවකින් උපන් ඒ රූපයන්ට ඒවායේ අයිතියක් නැත. ඒ රූපයන්ට අන් හිමියෙක් ද නැත. ඒවාට නො දිරා නො බිඳී සිටිය හැකි ශක්තියක් ද නැත. සුඛ ප්‍ර‍ත්‍යයන් ඇතිවීමෙන් සුඛ වේදනාව ද, දුඃඛ ප්‍ර‍ත්‍යයන් ඇතිවීමෙන් දුඃඛ වේදනාව ද, සුඛ දුඃඛ ප්‍ර‍ත්‍යයන් නො ලබන කල්හි උපේක්ෂා වේදනාව ද උපදී. තමන්ගේ බලයෙන් නො ව අන් හේතුවකින් උපදනා ඒ වේදනාවන්ට ඒවායේ අයිතියක් ද නැත. ඒවාට අන් හිමියෙක් ද නැත. නො දිරා නො බිඳී පැවතිය හැකි ශක්තියක් ද ඒවාට නැත. ෂට්ද්වාරයට රූපාදි අරමුණු මුණ ගැසෙන කල්හි ගැහැනියක පිරිමියෙක මිනිසෙක ගවයෙක ගසක වැලක ගෙයක යනාදි සංඥාවෝ පහළ වෙති. අන් හේතුවකින් පහළ වූ ඒ සංඥාවන්ට ඒවායේ අයිතියක් නැත. ඒවාට අන් හිමියෙක් ද නැත. නො දිරා නො බිඳී පැවතිය හැකි ශක්තියක් ද ඒවාට නැත. රූප වේදනාදීන් නිසා යාම් ඊම් හිඳීම් සිටීම් දීම් ගැනීම් කෑම් පීම් ආදිය සිදු කරන චේතනා සංඛ්‍යාත සංස්කාරයෝ ද ඇලීම් කිපීම් ආදි සංස්කාරයෝ ද පහළ වෙති. තමන්ගේ බලයෙන් නොව අන් හේතුවකින් හටගන්නා වූ ඒ සංස්කාරයන්ට ඒවායේ අයිතියක් නැත. අන් හිමියෙක් ද ඒවාට නැත. නොදිරා නො බිඳී පැවතිය හැකි ශක්තියක් ද ඒවාට නැත. රූපාදි අරමුණු චක්ෂුරාදි ද්වාරයන්ට හමුවීමෙන් චක්ෂූර් විඥානාදි විඥානයෝ උපදිති. අන් ප්‍ර‍ත්‍යයකින් හටගත් විඥානයන්ට ඒවායේ අයිතියක් නැත. ඒවාට අන් හිමියෙක් ද නැත. නොදිරා නො බිඳී පැවතිය හැකි ශක්තියක් ද ඒවාට නැත.

ඒ ඒ ප්‍ර‍ත්‍යයෙන් හටගෙන දිරා බිඳී යන මේ සංස්කාරයෝ නාමරූපයන් තමන්ගේ කැමැත්තේ සැටියට පවත්වන, මමය කියා සලකන ආත්මයක් නො වෙති. භවයෙන් භවයට යන නො මැරෙන ආත්මයක් ද නො වෙති. යාම් ඊම් බැලීම් ඇසීම්, ආදිය සිදු කරන ආත්මයක් ද නො වෙති. සුවදුක් විඳින ආත්මයක් ද නො වෙති. ඒ ඒ දේ සංවිධානය කරන ආත්මයක් ද නො වෙති. හුදෙක් ප්‍ර‍ත්‍යයෙන් හටගෙන එකෙණෙහි දිරා බිඳී යන ධර්ම පරම්පරාවෙකි. එබැවින් ස්කන්ධයෝ අනාත්මයෝ ය. කැබිලිති, රන් රිදී කාසි මෙන් දක්වා ජනයා රවටන මායා කාරයන් මෙන් ද, රූපත් තරුණ මිනිස් කතුන් සේ පෙනී සිට ජනයා රවටන යකින්නන් මෙන් ද, ජලස්කන්ධයක් සේ පෙනී මුවන් රවටන මිරිඟුව මෙන් ද ස්කන්ධයෝ සත්ත්වයන් පුද්ගලයන් වශයෙන් ආත්ම වශයෙන් පෙනී සිට ජනයා රවටන්නෝ ය. මේ ගාථාවෙන් නිතර සිහි කිරීම ද යෝගාවචරයන්ට ප්‍රයෝජනය ය.

“නාමඤ්ච රූපඤ්ච ඉධත්ථි සච්චතෝ

නහෙත්ථ සත්තෝ මනුජෝ ‘ව විජ්ජති,

සුඤ්ඤං ඉදං යන්තමිචාභිසඞ්ඛතං

දුක්ඛස්ස පුඤ්ජෝ තිණ කට්ඨ සාදිසෝ.”

තේරුම:-

මේ ලෝකයෙහි සැබෑවට ඇත්තේ නාමයත් රූපයත් ය. මෙහි සත්ත්වයෙක් හෝ මිනිසෙක් ද නැත. මෙය අනේකාවයවයන් එකතු කොට පිළියෙළ කළ යන්ත්‍ර‍ක් මෙන් සත්ත්ව පුද්ගල භාවයෙන් හිස් ය. දුක් ගොඩෙක. තණ හා දර වැනි ය.

“යමකං නාමරූපඤ්ච - උභෝ අඤ්ඤොඤ්ඤ නිස්සිතා,

එකස්මිං භිජ්ජමානස්මිං - උභෝ භිජ්ජන්ති පච්චයා.”

තේරුම:-

නාමය රූපය යන මේ දෙක ඔවුනොවුන් නිසා පවත්නෝ ය. ඉන් එකක් බිඳෙන කල්හි ප්‍ර‍ත්‍යය නැති වීමෙන් දෙක ම බිඳෙන්නේය.

“න සකේන බලේන ජායරේ

නෝපි සකේන බලේන තිට්ඨරේ,

පරධම්මවසානුවත්තිනෝ

ජායරේ සංඛතා අත්තදුබ්බලා.”

තේරුම:-

නාමරූපයෝ තමන්ගේ බලයෙන් නූපදනාහ. තමන්ගේ බලයෙන් නො පවත්නාහ. දුර්වල වූ ඒ සංස්කාරයෝ ප්‍ර‍ත්‍යය නමැති අන්‍ය ධර්මයක් නිසා උපදනාහ.

“යථාපි නාවං නිස්සාය-මනුස්සා යන්ති අණ්ණවේ,

ඒවමේව රූපං නිස්සාය-නාමකායෝ පවත්තති.”

තේරුම:-

යම් සේ නැව නිසා මනුෂ්‍යයෝ සාගරයෙහි ගමන් කෙරෙත් ද, එමෙන් රූපකය නිසා නාමකය පවතී.

“යථා ච මනුස්සේ නිස්සාය-නාවා ගච්ඡති අණ්ණවේ

ඒවමේව නාමං නිස්සාය-රූපකායෝ පවත්තති.

තේරුම:-

යම් සේ මිනිසුන් නිසා නැව සාගරයෙහි ගමන් කෙරේ ද, එමෙන් රූපකය නිසා නාමකය පවතී.

“උභෝ නිස්සාය ගච්ඡන්ති

මනුස්සා නාවා ච අණ්ණවේ,

ඒවං නාමඤ්ච රූපඤ්ච

උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිතා.”

තේරුම:-

ඔවුනොවුන් නිසා මනුෂ්‍යයෝත්, නැවත් සාගරයෙහි ගමන් කෙරෙත්. එසේ නාමයත්, රූපයත් ඔවුනොවුන් නිසා පවතී.

“පඤ්චක්ඛන්ධෙ අනත්තතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ පරමත්ථං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති.”

පඤ්චස්කන්ධයන් අනාත්ම වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය පරමාර්ථය වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.