13. උපසග්ගා

තෙළෙස්වන භාවනා පදය.

ස්කන්ධයෝ ශරීරගත ව තිබී සිටි සැටියේ හදිසියේ මතු වී එන මළපෙරේත දෝෂාදිය වැනි දෝෂයෝ ය.

ස්කන්ධ පඤ්චකය ඥාතිව්‍යසනාදි අනේක බාහිර අනර්‍ථයන් හා ද, දරුණු රෝගාදි ආභ්‍යන්තරික අනර්ථයන් හා ද, රාග ද්වේෂාදි ආභ්‍යන්තරික අනර්ථයන් හා ද සම්බන්ධව පවත්නා දෙයකි. එබැවින් මේ පඤ්චස්කන්ධය දරන්නහුට සූනියමක් පෙරේත දෝෂයක් දේවදෝෂයක් වැදී ඇතියවුන්ට වරින් වර හදිසියේ ඒ දෝෂය මතු වී එන්නාක් මෙන් ඥාතිව්‍යසනාදි බාහිර අනර්ථයෝ හදිසියේ නැඟී එති. නොයෙක් භයානක රෝගයෝ හදිසියේ ම ශරීරය තුළින් නැඟී එති. මහානර්ථකර රාගාදි ක්ලේශයෝ හදිසියේ ම අභ්‍යන්තරයෙන් නැඟී එති. පඤ්චස්කන්ධයක් නැතහොත් ඒ බාහිරාභ්‍යන්තරික අනර්ථයන්ට සම්බන්ධ වී තිබීමට නැඟී ඒමට තැනක් නැති බැවින් පඤ්චස්කන්ධය ම දෝෂයන් ලෙස සැලකිය යුතු ය.

සූනියම් දෝෂාදියක් වැදී ඇතියහු විසින් මම දැන් සුඛිත ව වෙසෙමි යි කියා ඒ දෝෂය දුරු කර ගැනීමට ක්‍රියා නො කොට පමා වීම සුදුසු නැත. පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත දෝෂය ඇති කල්හි ද මට දැන් අනර්ථයක් නැත. විපතක් නැත. මම දැන් සුඛිත වෙමිය කියා බලා සිටීම පමාවීම නුසුදුසු ය. පඤ්චස්කන්ධ සඞ්ඛ්‍යාත දෝෂයෙන් මිදී පඤ්චස්කන්ධය හැර නිවන් ලබනු සඳහා වහා ම ක්‍රියාරම්භ කළ යුතු ය. මොහොතකුදු බලා සිටීම නුසුදුසු ය. එබැවින් පඤ්චස්කන්ධය උපසර්ගයෙකි.

පඤ්චක්ඛන්ධෙ උපසග්ගතෝ පස්සන්තෝ අනුලෝමිකං ඛන්තිං පටිලභති, පඤ්චන්නං ඛන්ධානං නිරෝධෝ අනුපසග්ගං නිබ්බානන්ති පස්සන්තෝ සම්මතනියාමං ඔක්කමති.

පඤ්චස්කන්ධන් උපසර්ග වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස්දෙනෙකුන් වූ ස්කන්ධයන් ගේ අනුත්පාද නිරෝධය උපසර්ග රහිත වූ නිවනය යි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී.