විචිකිච්ඡා නීවරණය

බුද්ධාදි උත්තමයන් ගැන හා මාර්ගඵලාදි ධර්ම ගැන සැකය අවිශ්වාසය විචිකිච්ඡා නමි. එය එසේ ද මෙසේ ද මෙය ද අනිකක් ද ඇත ද නැත ද කියා දෙපසට පනින ධර්මයක් බැවින් සමාධියට බාධක වූ සිත නො සන්සුන් කරන ධර්මයකි. සමාධිය ආවරණය කරන, ප්‍ර‍ඥාව ආවරණය කරන, නිවන් මඟ ආවරණය කරන ධර්මයක් බැවින් නීවරණයෙකි.

සත්ත්වයා හට අතීත සංසාරයක් තුබූ බව, අනාගත සංසාරයක් ඇති බව, කළ කම් අනුව ඔහු සැපදුක් ලබන බව, කම්පල දෙන ස්ථාන වූ අපාය දිව්‍යලෝක බ්‍ර‍හ්මලෝක ඇති බව, ධ්‍යානාභිඥා ඇති බව, මාර්ගඵල නිර්වාණයන් ඇති බව, අනාගත සංසාරය නැති කළ උත්තම පුද්ගලයන් ඇති බව, සියල්ල දත් බුදුවරුන් ඇති බව යන මේ කරුණු සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය ඥානයට අවිෂය ය. ඒවා සාමාන්‍ය ජනයා පිළිගන්නේ බුදුන් වහන්සේ කෙරෙහි තබන විශ්වාසය අනුව ය. හරි දැකීමක් නැතිව අනුන් කෙරෙහි තබන විශ්වාසය අනුව පවතින පිළිගැනීම ස්ථිර එකක් නො වේ. එබැවින් සත්ත්වයාහට පෘථග්ජන භාවය ඉක්මවන තුරු වරින්වර ඒ කරුණු ගැන විචිකිච්ඡා ඇති වේ. අනාගත සංසාරය ගැන හා කර්ම විපාක ගැන සැකය නැඟී ඇති තැනැත්තාගේ සිත මතු සුගතියෙහි ඉපදීමට කළයුතු පින්කම් කිරීමෙහි නො නැමේ. ඒ සැකය ඔහුට කුශලයට බාධාවක් වෙයි. කුශල මාර්ගය ආවරණය කරන්නක් වේ. ඒ නිසා ඔහුට කුශල් කරන්නට නො ලැබේ. එයින් ඔහුට ස්වර්ගමාර්ගය වැසේ. මාර්ගඵල නිර්වාණයන් පිළිබඳ සැකය නැඟී ඇති, අනාගත සංසාරය ගැන සැකය නැඟී ඇති, පුද්ගලයාගේ සිත පස්කම් සැප අතහැරීමට සිල් රැකීමට භාවනා කිරීමට නො නැමේ. නිවන් මඟ ඔහුට එයින් වැසේ. දහම් අසන්නට ලැබී, ගුණවතුන් සේවනය කරන්නට ලැබී ශ්‍ර‍ද්ධාව ඇති වී කාමයන් හැර නිවන් මඟට බැසගත් තැනැත්තාට සමහරවිට විචිකිච්ඡාව ඇති වී ඔහු ගේ සිත අවුල් වේ. වික්ෂිප්ත වේ. එයින් හේ භාවනාවෙහි පසු බසී. සමහරවිට ඔහු ලබා සිටි තත්ත්වයෙන් ද පිරිහේ. සිත්හි එකක් තබාගෙන අනිකක් කියන කිසිදු ආභ්‍යන්තරික ගුණයක් තමන් තුළ නැතිව ගුණවතුන් සේ පෙනී සිටින කෛරාටික වංක පුද්ගලයන්ට විචිකිච්ඡා පහළවීම අධිකය. ඔවුහු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලා දහම් පොත් ලියා තැබූ උත්තමයන් වහන්සේලා තමන් වැනි අයය යි සිතා සැම එකක් ගැනම සැක කරති. සත්‍යයෙහි පිහිටා සිටින සත්‍යය භාවිතා කරන සත්පුරුෂයනට විචිකිච්ඡා මඳය. ඔවුහු තමන් සේ සත්‍යය භාවිත කරන සත්‍යයෙහි පිහිටා සිටින තවත් අය ඇති බව පිළිගනිති. එයින් ඔවුනට බුද්ධාදි උත්තමයන් ගැනත් ධර්මය ගැනත් එතරම් අවිශ්වාසයක් ඇති නොවේ. ශ්‍ර‍ද්ධාව අඩු අඩු තරමට විචිකිච්ඡා වැඩි වේ. ශ්‍ර‍ද්ධාව දියුණු වීමෙන් විචිකිච්ඡා මඳ වේ. විචිකිච්ඡාව සම්පූර්ණයෙන් නැති කිරීමට ඇති උපායත් කෙසේ හෝ එය යටපත් කර භාවනාවෙහි යෙදී සෝවාන් ඵලයට පැමිණීමය. සෝවාන් මාර්ගඥානයෙන් ආර්‍ය්‍ය සත්‍යයන් ප්‍ර‍ත්‍යක්ෂ කිරීමෙන් විචිකිච්ඡාව සම්පූර්ණයෙන් මතු ඇති නො වන පරිදි දුරු වේ.