විචිකිච්ඡා ප්‍රහාණ හේතු

“අත්ථි භික්ඛවේ, කුසලාකුසල ධම්මා, සාවජ්ජානවජ්ජා ධම්මා, සේවිතබ්බාසේවිතබ්බ ධම්මා, හීනපණීතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා, තත්ථයෝනිසෝමනසිකාරබහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා විචිකිච්ඡාය අනුප්පාදාය උප්පන්නස්ස වා විචිකිච්ඡාය න භීය්‍යෝභාවාය න වේපුල්ලාය.”

“මහණෙනි, කුශලාකුශල ධර්මයෝ ඇත. ඒවා ගැන සුදුසු පරිදි මෙනෙහි කිරීම් බහුල බව නූපන් විචිකිච්ඡාවන් නො ඉපදීමටත් උපන් විචිකිච්ඡා නො වැඩීමටත් නො දියුණුවීමටත් හේතුව ය” යනු එහි අදහස ය. ඉහත දැක් වූ පාඨයෙහි සාවජ්ජානවජ්ජාදී නම් වලින් දැක්වෙන්නේ කුශලාකුශලයන් ම ය.

කුශලාකුශලයන් ගැන සුදුසු පරිදි මෙනෙහි කරන්නහුට ඒවායේ තතු අවබෝධ වන කල්හි තේරුවන් කෙරෙහි පැහැදීම වැඩි වේ. එයින් විචිකිත්සා පහළවීම අඩු වේ.

අටුවාවල දැක්වෙන විචිකිච්ඡා ප්‍ර‍හාණ හේතු.

“ඡ ධම්මා විචිකිච්ඡාය පහානාය සංවත්තන්ති, බහුස්සුතා, පරිපුච්ඡකතා, විනයේ පකතඤ්ඤුතා, අධිමොක්ඛබහුලතා, කල්‍යාණමිත්තතා, සප්පාය කථාති.”

ධර්මවිනය උගෙන ඇති බව, රත්නත්‍ර‍ය පිළිබඳ ප්‍ර‍ශ්න කරන බව, විනයෙහි පලපුරුද්ද ඇති බව, රත්නත්‍රයේ ගුණ පිළිබඳ විනිශ්චය සහිත දැනීම ඇති බව, ශ්‍ර‍ද්ධාධික කල්‍යාණමිත්‍ර‍යන් ඇති බව, රත්නත්‍ර‍ය ගුණ පිළිබඳ කථාව යන මේ කරුණු සය අටුවාවෙහි දක්වා ඇති විචිකිච්ඡා ප්‍ර‍හාණ හේතූහු ය.

පිටකත්‍ර‍ය ධර්මය පාළි වශයෙන් හා අර්ථ වශයෙන් උගන්නා තැනැත්තාට උගත් තැනැත්තාට ඒ දැනීමේ හේතුවෙන් විචිකිච්ඡා පහළවීම මඳ වේ. ධර්මය පිළිබඳ දැනුමක් නැති භාෂාශාස්ත්‍ර‍ පමණක් උගත් අයට බොහෝ විචිකිච්ඡා පහළ වේ.

තෙරුවන් ගුණ දතුවන්ගෙන් ඒවා ගැන බොහෝ ප්‍ර‍ශ්න කරන තැනැත්තාහට බොහෝ තෙරුවන් ගුණ දැනගන්නට ලැබීමෙන් තෙරුවන් කෙරෙහි විශ්වාසය තහවුරු වේ. එයින් ම පරලොව ඇත යනාදි කරුණු ගැන පිළිගැනීම ද දැඩි වේ. එයින් ඔහුට විචිකිච්ඡා පහළ වීම මඳ වේ.

විනය, භික්ෂූන්ට නොයෙක් විට විචිකිච්ඡා ඇතිවීමට හේතු වේ. කැප-අකැප බව විනිශ්චය කිරීම, ආපත්ති-අනාපත්ති විනිශ්චය කිරීම, උපසම්පදාකර්ම සීමාසම්මුති ආදි විනය කර්ම කිරීම යන මේවායින් විනය පිළිබඳ පලපුරුදුකම් ඇතියන්ට විනය සම්බන්ධයෙන් පහළ විය හැකි විචිකිච්ඡා මඳ වේ.

තෙරුවන් ගුණ නො දත් තෙරුවන් නාඳුනන පුද්ගලය්ට විචිකිච්ඡා බහුල ය. තෙරුවන් ගුණ විනිශ්චයක් ඇතිව දැනගත් අයට විචිකිච්ඡා මඳ ය. ‘සූවිසි මහා ගුණය’ නමැති ග්‍ර‍න්ථය කියැවීමෙන් තෙරුවන් ගුණ පිළිබඳ සෑහෙන දැනුමක් ඇතිකර ගත හැකි ය.

තෙරුවන් ගුණ නො පිළිගන්නා වූ, තමන්ට අවිෂය ධර්මය නො පිළිගන්නා වූ අශ්‍ර‍ද්ධාවත් පුද්ගලයන් ඇසුරු කිරීමෙන් විචිකිච්ඡා බහුල වේ. වක්කලී තෙරුන් වහන්සේ වැනි සුප්‍ර‍බුද්ධ දුගියා වැනි ධනඤ්ජානී බැමිණිය වැනි ශ්‍ර‍ද්ධාධික පුද්ගලයන් සේවනය කරන්නවුන්ට විචිකිච්ඡාව තුනී වේ.

තෙරුවන් ගුණ දැක්වෙන ධර්මදේශනයන් ඇසීම, ධර්මදේශනා පැවැත්වීම, තෙරුවන් ගුණ විස්තර කර ඇති දහම් පොත් දහම් ලිපි කියවීම, තෙරුවන් ගුණ ගැන කථා කිරීම යන මේවායින් ද නූපන් විචිකිච්ඡා නූපදී. උපන් විචිකිච්ඡා දුරු වේ.

යෝගීහු නිවන් මඟ අවුරන මේ නීවරණයන ප්‍ර‍හාණය කොට දුකින් මිදීමට සමත් වෙත්වා!

සකල සත්ත්වයෝ සුවපත් වෙත්වා!!