කාමච්ඡන්ද නීවරණය

කාමවස්තූන් සම්බන්ධයෙන් ඇති වන ආශාව කාමච්ඡන්දය ය. ඕනෑකම, ලෝභය, රාගය, ආලය, ආදරය, ප්‍රේමය, තණ්හාව යන නම් වලින් කියැවෙන්නේ ද ඒ ආශාව ය. කාමවස්තූහු බොහෝ ය. සිත කය දෙකට ඇති වන සැපය ප්‍ර‍ධාන කාමවස්තූන් ය. ඒ සැපයට හේතු වන සියලු වස්තූහු ද කාමවස්තූහු ය.

අඹුවෝය, සැමියෝය, දූ දරුවෝය, මා පියෝය, සහෝදර සහෝදරියෝය, නෑයෝය, මිතුරෝය, දැකීමට ආශ්‍ර‍ය කිරීමට කැමති වන අන්‍ය ස්ත්‍රීපුරුෂයෝය, රජවරු සිටුවරු සෙන්පතිවරු අගමැතිවරු ඇමතිවරු ජනාධිපතිවරු ආදී උසස් පුද්ගලයෝ ය. මිනිසුන්ට ප්‍රයෝජනවත් ගවාදි සත්ත්වයෝය, වනසත්තුය, ජලයේ ජීවත්වන සත්තු ය යන මේ සියල්ල ම කාමවස්තූහු ය.

යාම - ඊම - බැලීම - සිනාව - කථාව - නැටුම - ගැයුම - ක්‍රීඩාව යනාදි සත්ත්ව ක්‍රියාවෝ ද කාමවස්තූහු ය.

ඉර සඳ තාරකා කඳු හෙල් ඇළ දොළ ගංගා විල් වැව් පොකුණු මුහුදු ගස් වැල් කැලෑ රන් රිදී මුතු මැණික් දිය ගිනි සුළං ආලෝක අන්ධකාර ශීතෝෂ්ණ ආදි ස්වභාවික වස්තූහු ය, ආහාරපාන ඇඳුම් පැළඳුම් ගෙවල් රථ ඇඳ පුටු මේස භාජන හා මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය පිණිස තනා ඇති සියලු වස්තූහු ය යන මේ සියල්ලෝ ම කාම වස්තූහු ය.

උපාධි තනතුරු ගරුබුහුමන් කීර්ති ප්‍ර‍ශංසා විද්‍යා ශිල්ප ශාස්ත්‍ර‍ යන මේවා ද කාමවස්තූහු ය.

විහාර දාගැබ් බෝධිවෘක්ෂ බුද්ධරූප අරහන්තරූප බෝධිසත්ත්වරූප දේවරූප සර්වඥධාතු අරහන්තධාතු බණපොත් පාත්‍ර‍ සිවුරු වටාපත් යන ආගමික වස්තූහු ද කාමවස්තූහු ය.

කාමවස්තූන්ගෙන් සම්පූර්ණයෙන් වෙන්ව සාමාන්‍ය මිනිසුන්ට තබා යෝගීන්ට ද වාසය කළ නො හැකි ය. එබැවින් නීවරණයන් අතුරින් බෙහෙවින් ඇති වන නීවරණයත්, යෝගීන්ට වඩා බාධා කරන නීවරණයත් කාමච්ඡන්ද නීවරණය ය.

කාමවස්තූන් අනුව ඇතිවන කාමච්ඡන්දයෝ ද බොහෝ ය. දැකීමට කැමති වන අඹුදරු නෑ මිතුරන් දැකීමේ ආශාව, රජුන් ඇමතිවරුන් ආදී උසස් පුද්ගලයන් දැකීමේ ආශාව, විශේෂ පුද්ගලයන් දැකීමේ ආශාව, ශෝභන ස්ත්‍රීපුරුෂයන් දැකීමේ ආශාව, ක්‍රීඩා-නැටුම් දැකීමේ ආශාව, පෙරහැර දැකීමේ ආශාව, ජනසන්නිපාත දැකීමේ ආශාව, නගර ග්‍රාම කෙත්වතු කඳු කැලෑ ඇළ දොළ ගංගා විල් වැව් පොකුණු හා නොයෙක් සතුන් දැකීමේ ආශාව, ලස්සන ගොඩනැගිලි ආදී වස්තූන් දැකීමේ ආශාව, කෙත් වතු ගෙවල් මුදල් ආදි කාමවස්තූන් ලබා ගැනීමේ ආශාව, ලබාගත් කාම වස්තූන් දියුණු කිරීමේ පරෙස්සම් කිරීමේ ආශාව, දූදරුවන් සුරතල් කිරීමේ ආශාව, ඔවුන් හා එක්ව විසීමේ ආශාව, ඔවුන් වැළඳගැනීමේ ආශාව, ඔවුන්ගේ බොළඳ බස් බොළඳ සිනා ඇසීමේ ආශාව, නොයෙක් මිහිරි ශබ්දයන් ඇසීමේ ආශාව, මිහිරි ගන්ධයන් ආඝ්‍රාණය කිරීමේ ආශාව, අඹුවන් දරුවන් සිප ගැනීමේ ආශාව, දරුවන් දියුණු කිරීමේ ආශාව, ප්‍ර‍ණීත ආහාරපානයන් වැළඳීමේ ආශාව, වස්ත්‍රාභරණ වලින් කය සරසා ගැනීමේ ආශාව, අඹුදරුවන් සැරසීමේ ආශාව, වාසස්ථානය සැරසීමේ ආශාව, සැප ගෙන දෙන ඇඳ පුටු ආදියෙහි විසීමේ ආශාව, ඇතැම් අයගේ ශරීරස්පර්ශය ලැබීමේ ආශාව, හොඳ වාහන වලින් ගමන් කිරීමේ ආශාව, මඞ්ගලෝත්සවාදියට සහභාගී වීමේ ආශාව, උත්සව පැවැත්වීමේ ආශාව, ශිල්ප ශාස්ත්‍ර‍ උගෙනීමේ ආශාව, උපාධි ලැබීමේ ආශාව, තනතුරු ලැබීමේ ආශාව, ගරු බුහුමන් ලැබීමේ ආශාව, ස්තුති ප්‍ර‍ශංසා ලැබීමේ ආශාව යන මේවා මිනිසුන්ට ඇතිවන කාමච්ඡන්දයන්ගෙන් සමහරෙකි.

කාමච්ඡන්දයන් බොහෝ ඇති නුමුත් ඒ සියල්ල එක් අයෙකුට ඇති වන්නේ නො වේ. ගිහියන්ට ඇතිවන කාමච්ඡන්ද, පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද, ගිහියන්ගෙන්ද-බාලයන්ට ඇතිවන කාමච්ඡන්ද, තරුණයන්ට ඇතිවන කාමච්ඡන්ද, මහල්ලන්ට ඇතිවන කාමච්චන්ද, උගතුන්ට ඇතිවන කාමච්ඡන්ද, පොහොසතුන්ට ඇතිවන කාමච්ඡන්ද, දුප්පතුන්ට ඇතිවන කාමච්ඡන්ද, පැවිද්දන්ගෙන් ද, - පන්සල්වල පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද, ආරණ්‍යයේ පැවිද්දන්ට ඇතිවන කාමච්ඡන්ද වෙන වෙන ම ඇත්තේ ය. වෙනසක් නැතිව සැමට ම ඇතිවන කාමච්ඡන්ද ඇත්තේ ය.

ධනය රැස් කර ගෙන අඹුදරුවන් ඇති කර ගෙන ඔවුන් හා පස්කම් සැප විඳිමින් විසීමේ ආශාව ගිහියන්ට ඇති වන මහා කාමච්ඡන්දය ය. අවිද්‍යාවෙන් හා කාමච්ඡන්දයෙන් නුවණැස අන්ධ වූ ඒ පුද්ගලයා සිතන්නේ තමාට කරන්නට ඇති උසස් ම දෙය කම් සැප විඳීමය කියා ය. එයින් ඔහුට නිවන් මඟ වැසේ. අපාය මාර්‍ගය විවෘත වේ. පස්කම් සැප විඳීමෙන් ඒ සඳහා ධනය සැපයීමේත් අඹුදරුවන් පෝෂණය කිරීමේත් යෙදීම අපාය මාර්ගයේ ගමන් කිරීම ය. කිසි කුශල ක්‍රියාවක නො යෙදී, පව්කම්වල යෙදුණා වූ ඒ පුද්ගල තෙමේ ඉහත කී කාමච්ඡන්දය නිසා මරණින් මතු අපායට ද පැමිණේ. ඇතැමෙක් වර්තමාන ජීවිතයේ දී හැකි තාක් කම්සැප විඳ මරණින් මතු දිව්‍යමය කාමසම්පත් විඳීමට ද බලාපොරොත්තු වී ධන සැපයීම් ආදියෙහි යෙදෙන අතර දානාදි පින්කම්වල ද යෙදෙති. සසර කොට කර ගැනීම සඳහා ශීල භාවනා ව්‍යාපාරයන්හි නො යෙදෙති. ඒ කාමච්ඡන්දයෙන් ඔවුනට නිවන් මඟ වැසී සංසාර මාර්ගය විවෘත වේ.

ඇතැම් පින්වත්හු ආර්යධර්මය අසන්නට ලැබී ආර්යධර්මය දත් සත්පුරුෂයන් ඇසුරු කරන්නට ලැබී සංසාරයේ නපුර හා නිවනෙහි අගය තේරුම් ගෙන සසර දුකින් මිදීමේ අටියෙන් නිවන් මඟට බැසීමක් වශයෙන් ශීලභාවනාවන්හි යෙදෙති. ඒ පින්වතුන් කෙරෙහි ද මේ කාමච්ඡන්ද නීවරණය නැඟ අවුත් ඔවුන් භාවනාවෙන් පහකොට සමහරවිට දූදරුවන්ගේ කටයුතුවල යොදවයි. සමහරවිට සහෝදර සහෝදරියන්ගේ කටයුතුවල යොදවයි. සමහරවිට නෑයන්ගේ මිතුරන්ගේ කටයුතුවල, සමහරවිට තමන්ගේ ම කෙත්වතු ආදියේ කටයුතුවල යොදවයි. කාමච්ඡන්දයෙන් කෙරෙන බාධාව නිසා ඔවුන්ගේ භාවනාව කඩවෙයි. එයින් ඔවුනට සමාධි දියුණුවක් හෝ විදර්ශනා දියුණුවක් නො ලැබේ. සමහරවිට තරමක් දියුණු වී තුබූ සමාධිය පිරිහෙයි. විදර්ශනා ඥානය පිරිහෙයි. සමහරවිට ඒ කාමච්ඡන්දය ඔවුන් තුළ කුශලච්ඡන්ද රූපයෙන් ද ඇති වේ. කුශලච්ඡන්ද රූපයෙන් ඇති වූ කාමච්ඡන්දයෙන් මෙහෙයන ලද යෝගාවචරයා භාවනාව හැර පුණ්‍යෝත්සවයන්ට සහභාගී වෙයි. පුණ්‍යොත්සව පවත්වයි. තමාගේ භාවනාව නවත්වා අනුන් නිවන් යැවීමට උත්සාහ කරයි. අනුන් ලවා සිල් රක්වන්නට-භාවනා කරවන්නට උත්සාහ කරයි. ඒ හේතුවෙන් තමා ලබා සිටි සමාධියක් විදර්ශනා ඥානයක් තුබුණා නම් හේ එයින් පිරිහෙයි. යෝගාවචරයා හට එය කාමච්ඡන්දයේ ආවරණයෙන් වූ බව නො දැනේ.

පඤ්චස්කන්ධයේ නපුර සංසාරයේ නපුර තේරුම් ගෙන නිවන් මඟට පිවිසීමක් වශයෙන් ගිහිගෙය හැර නෑමිතුරන් හැර ධනය හැර පැවිදි වූ කුලපුත්‍ර‍යන්ට ද නොයෙක් විට කාමච්ඡන්දය බාධා කරයි. සමහරවිට නැඟී ආ කාමච්ඡන්දයෙන් පැවිද්දා නැවත ද ගිහි බවට යවනු ලබයි. සමහරවිට රහසේ කම්සැප විඳින දුශ්ශීලයෙක් කරනු ලැබේ. සමහරවිට කාමාශාවෙන් සැමදාම තැවෙමින් සිටින පුද්ගලයෙක් කරනු ලබයි.

බොහෝ සිවුපසය ඇතිව ගරුබුහුමන් කීර්ති ප්‍ර‍ශංසා ඇතිව උසස් තත්ත්වයෙන් ජීවත්වීමේ ආශාව වූ කාමච්ඡන්දය ඇතැම් පැවිද්දන්හට කුශලච්ඡන්ද රූපයෙන් ඇති වේ. එයින් නුවණැස වැසී ගිය පැවිද්දා ශ්‍ර‍මණධර්ම යයි කියනු ලබන සමථ විදර්ශනාවන් වැඩීමෙහි නො යෙදී පරාර්ථ සේවය කරමිය බුදුසසුන දියුණු කරමිය කියා විවිධ භාෂා ශාස්ත්‍රාදිය ඉගැන්වීම්, සමාජයට සේවය කිරීම් ආදි නොයෙක් වැඩවල යෙදෙයි. විහාර චෛත්‍ය දහම්හල් පොත්ගුල් සඞ්ඝාවාසාදි ගොඩනැගිලි කරවීමෙහි යෙදෙයි. බණ පින්කම් පිරිත් පින්කම් කරවීමෙහි පෙරහැර කරවීමෙහි ධර්මප්‍ර‍චාරය කිරීමෙහි ගෝලයන් තැනීමෙහි අනුන් ලවා භාවනා කරවීමෙහි යෙදෙයි. එවා කුශල ක්‍රියා වුව ද ඒ පැවිද්දාට ඒවායින් නිවන් මඟ ආවරණය වේ. මේ කාමච්ඡන්ද නීවරණය තරුණ පැවිද්දන්ට බොහෝ පීඩා කරන්නෙකි. බොහෝ තරුණ පැවිද්දන් සිවුරු හැර යවන්නේ ද මේ කාමච්ඡන්ද නීවරණය ය.

ආරණ්‍යගත පැවිද්දන්ට ඖදාරික කාමච්ඡන්ද ඇතිවීම අඩු ය. එහෙත් ඔවුනට ද නොයෙක් විට කුශලච්ඡන්ද රූපයෙන් කාමච්ඡන්දය ඇති විය හැකි ය. ආරණ්‍යගත පැවිද්දන් භාවනාව අතපසු කොට භාවනාවෙන් ලැබිය යුතු ප්‍ර‍තිඵලය ලැබෙන්නට පෙර ගෝලයන් තැනීම්, ස්ථාන දියුණු කිරීම්, මහා පූජා පැවැත්වීම් ආදි අන් නොයෙක් වැඩවල යෙදෙන්නේ කුශලච්ඡන්ද රූපයෙන් එන කාමච්ඡන්දයේ මෙහෙයීමෙනි.

භාවනාවෙහි යෙදී තරමක් දුර සමාධි ප්‍ර‍ඥා දියුණු කරගත් යෝගාවචරයන්ට සමහරවිට ඔවුන්ගේ භාවනාව පිළිබඳව ම ලබාගත් සමාධි පිළිබඳව, විශේෂ ඥානයන් පිළිබඳව, සියුම් ලෙස කාමච්ඡන්ද නීවරණය ඇති වී ඔවුනට භාවනා මාර්ගය ආවරණය කරයි. තරමක සමාධියක් ලැබූ යෝගාවචරයාහට ලැබූ සමාධිය පිළිබඳ ආශාවක් ඇති වේ. එය කාමච්ඡන්දය බව ඔහුට නො දැනේ. ඒ කාමච්ඡන්දය නිසා භාවනා කරන කල්හි ඔහුගේ සිත භාවනා මාර්ගයේ නො පැවතී තමා ලැබූ සමාධියට ම යොමු වේ. ඔහුට දැන් මම කොතරම් උසස් තත්ත්වයකට පැමිණ ඇත්තෙම් ද, මට දැන් මෙ පමණ පැය ගණනක් සමාධි වී සිටිය හැකිය යනාදි සිත් පහළ වන්නට පටන් ගනී. එයින් භාවනා මාර්ගය ආවරණය වී යෝගාවචරයා සමාධියෙන් පිරිහේ. විදර්ශනාව දියුණු කරගත් තැනැත්තාට ද එසේ ම කාමච්ඡන්දය නිසා තමාගේ විදර්ශනා දියුණුව ගැන ම සිත් ඇති වන්නට පටන් ගනී. ඒවායින් ඔහුට විදර්ශනා මාර්ගය වැසේ. සමහර විට යෝගාවචරයන්ට නො ලැබූ ධ්‍යානාභිඥා මාර්ගඵලයන් පිළිබඳ සූක්ෂ්ම තෘෂ්ණාවක් ඇති වේ. එය ද කාමච්ඡන්දය ය. ඒ කාමච්ඡන්දය නිසා භාවනාව පටන් ගත් කල්හි යෝගාවචරයාගේ සිත නො ලැබූ ධ්‍යානාදියට යන්නට පටන් ගැනීමෙන් භාවනා මාර්ගය වැසේ. යෝගාවචරයනට ඉතා ම බාධක නීවරණය කාමච්ඡන්දය ය. එබැවින් යෝගාවචරයන් විසින් කාමච්ඡන්දයෙන් විශේෂයෙන් ම පරෙස්සම් විය යුතු ය.

ලෝකෝත්තර මාර්ග ඥානයෙන් නීවරණයන් ප්‍ර‍හාණය කර නැති පුද්ගලයන් කෙරෙහි වරින් වර නීවරණයන් මතු වී ඒම ස්වභාවයෙකි. විදර්ශනාව නවත්වන, මඟපල-නිවන් ලැබීමේ මඟ වසන නීවරණයන් ගේ මතු ව ඒම අඩු කර ගත හැකි වීම පිණිසත්, උපන් නීවරණයට වැඩෙන්නට නො දී වහා දුරු කර ගත හැකි වීම පිණිසත් යෝගාවචරයන් විසින් නීවරණ හඳුනා ගත හැකි නුවණ ඇති කර ගත යුතු ය. නීවරණය ඇතිවීමේ හේතු දැන ඒවායින් වැළකිය යුතු ය. නීවරණ නො ඉපදීමේ හා උපන් නීවරණ දුරු වීමේ හේතූන් දැන ඒවා තමන් කෙරෙහි ඇති කර ගත යුතු ය. කාමච්ඡන්ද නීවරණය පිළිබඳව මෙහි කරන ලද විස්තරය නැවත නැවත කියවා තේරුම් ගත හොත් එය තමා කෙරෙහි නොයෙක් මුහුණුවරින් නැගෙන කාමච්ඡන්දය තේරුම් ගැනීමට බොහෝ දුරට උපකාර වනු ඇත.

“අත්ථි භික්ඛවෙ, සුභ නිමිත්තං තත්ථ අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භීය්‍යෝභාවාය වේපුල්ලාය.”

(බොජ්ඣංග සංයුත්ත)

යනුවෙන් ශුභ නිමිත්ත පිළිබඳව නුසුදුසු ලෙස වැරදි ලෙස බොහෝ කොට සිතීම නූපන් කාමච්ඡන්දය ඉපදීමටත්, උපන් කාමච්ඡන්දය වැඩීමට හා දියුණුවීමටත් හේතු වන බව භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

මෙහි ශුභ නිමිත්තය යි කියන ලදුයේ කාමච්ඡන්දය හා එය ඇතිවීමට හේතු වන පුද්ගලයන් හා වස්තූහු ය. මොහු ලස්සනය හොඳය කියා යම්කිසි පුද්ගලයකු ගැන හෝ වත්තක් කුඹුරක් ගෙයක් වාහනයක් ගැන හෝ අන් වස්තුවක් ගැන හෝ වරක් කාමච්ඡන්දය ඇති වූ කල්හි එය එකෙණෙහි ම ප්‍ර‍හාණය නො කොට පිළිගෙන තබා ගත හොත් ඒ පුද්ගලයා ගැන ඒ වස්තුව ගැන නැවත නැවත දිගින් දිගට ම කාමච්ඡන්දය ඇති වන්නට පටන් ගනී. එබැවින් මුලින් ඇති වන කාමච්ඡන්දයමත් කාමච්ඡන්ද ඇතිවීමේ හේතුවකි. මුල් කාමච්ඡන්දය පිළිගැනීම, පවතින්නට ඉඩ හැරීම කාමච්ඡන්දය ගැන නුසුදුසු ලෙස වැරදි ලෙස සිතීම ය, හෙවත් අයෝනිසෝමනසිකාරය ය. අනිත්‍ය වූ පඤ්චස්කන්ධය නිත්‍ය දෙයක් ලෙස සැලකීම, නො මනා දෙයක්-කැත දෙයක් වන පඤ්චස්කන්ධය හොඳ දෙයක් ලස්සන දෙයක් සේ සැලකීම, බොහෝ දුක් උපදවන බැවින් නපුරක් දුකක් නො මනා දෙයක් වන පඤ්චස්කන්ධය හොඳ දෙයක් සැපය ඇති කරන දෙයක් කෙසේ හෝ නැති වන්නට නො දී පවත්වා ගත යුතු දෙයක් ලෙස සැලකීම, කැමැත්තේ සැටියට පැවැත්විය නොහෙන පඤ්චස්කන්ධය කැමැත්තේ සැටියට පැවැත්විය හැකි දෙයක් ආත්මයක් ලෙස සැලකීම, නිසරු පඤ්චස්කන්ධය සරු දෙයක් ලෙස සැලකීම, පුද්ගලයන් ගැන හා වස්තූන් ගැන නුසුදුසු ලෙස-වැරදි ලෙස සිතීම ය. එබඳු වැරදි සිතීම් බොහෝ ඇති වන්නට ඉඩ හැරීමෙන් නූපන් කාමච්ඡන්දයෝ උපදිති. උපන් කාමච්ඡන්දයෝ නැවත නැවත ඇතිවීම් වශයෙන් වැඩෙති. මහත් වෙති. දියුණු වෙති.

අනිත්‍ය වූ පඤ්චස්කන්ධය නිත්‍ය ලෙස සැලකීම ය යි කියනුයේ මේ සත්ත්වයෝ නො මැරී සැමදාම ජීවත් වෙතියි කියා ද, මේ වස්තූහු කවදාවත් නො නැසී පවතිත්ය කියා ද සැලකීම නො වේ. ජීවත්ව ඉන්නා මේ සත්ත්වයන් යම්කිසි දිනයක මැරෙන බවත් වස්තූන් දිරා විනාශ වන බවත් සැම දෙන ම දනිති. සත්ත්වයාය පුද්ගලයාය කියනු ලබනුයේ ඉපද ඉපද බිඳි බිඳී යන සංස්කාර සමූහයකට ය. සංස්කාර පරම්පරාවකට ය. ඒ සංස්කාරයන් අතර තත්පරයක් පමණ කාලයකුදු පවත්නා කිසිවක් නැත. සත්ත්වයකු පිළිබඳ සංස්කාර ධර්ම පරම්පරාවෙහි ඊයේ පැවති කිසිම සංස්කාරයක් අද නැත. අද පවත්නා කිසිම සංස්කාරයක් සෙට නැත. යම්කිසි පුද්ගලයකු බලා ඊයේ සිටියේත් මොහුය, පෙරෙයිදා සිටියේත් මොහුය, ඉකුත් මාසයේ ඉකුත් අවුරුද්දේ සිටියේත් මොහුය, සෙට සිටින්නේත් මොහුය කියා ආර්ය ධර්මය නොදත් ජනයෝ සලකති. ඒ සැලකීම මෙහි අදහස් කරන අනිත්‍ය දෙය නිත්‍ය දෙය ලෙස සැලකීම ය. එසේ නො සලකා සංස්කාරයන් අනිත්‍ය තාවකාලික දේ සැටියට සලකනවා නම් දකිනවා නම් කාමච්ඡන්දය උපදනා පුද්ගලයන් ගැන කාමච්ඡන්දය නූපදී. කාමච්ඡන්දය උපදින්නේ නිත්‍ය වශයෙන් සැලකීම නිසා ය.

අනු මාතෘකා