පටිපදාඤාණ දස්සණ විසුද්‍ධිය

ඉක්බිති විදර්ශනා මාර්ගයට පිළිපන් මහාසත්ත්වයන් වහන්සේ ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් පරීක්ෂා කරන සේක් පංචස්කන්ධයේ පහළ වීමත් විනාශයත් දුටු සේක. (උදයව්‍යය ඥානය46 ලැබූ සේක.) ස්කන්ධයන්ගේ පහළවීමත් විනාශයත් වඩ වඩා බලත්ම වඩ වඩා ස්කන්ධ භංගය ම ප්‍රකට වැ පෙනිණ. තමන් ඉදිරියෙහි සිටින ව්‍යාඝ්‍රයකුගේ අයා ගත් මුඛයම පැනෙන්නා සේ ඉතා බලවත් වී මරණය ම පෙනෙන්නට විය. සියලු ස්කන්ධ පංචකය හුදු මරණය නම් දැයෙකින් ම සැදුණාක් මෙන් වැටහිණ. (භංගානුපස්සනාඤාණය46 පහළ විය.)

ඉක්බිති භංගය අනුව බලන සේක් භවත්‍රය ගත සියලු සංස්කාරයන් ව්‍යාඝ්‍ර සර්පාදීන් මෙන් භයක් කොට, භයට කාරණ කොට දුටු සේක. (භයතොපට්ඨාන ඤාණය47 ලැබූ සේක.) මෙසේ සංස්කාරයන් භය වශයෙන්, භය උපදවන්නන් වශයෙන් බලත් බලත් ම භවත්‍රය මුළුල්ල ගිනිගත් කිහිරඟුරු වලක් සේ ජාති ජරාදී එකළොස් ගින්න ඇවිල පවත්නා ප්‍රතිෂ්ඨා රහිත තැනක් සේ පෙනිණ. “භවය මෙ නම් ජාති ජරාදි දුකින් යුක්ත ය” යි භවත්‍රයයේ ම දෝෂ දුටු සේක. (ආදීනව ඤාණය ලැබූ සේක.)48

ආදීනව ඤාණයෙන් සංස්කාරයන්ගේ දෝෂ බලන කල්හි තමන් සර්ප මුඛයට අසුවූ මැඩියකු සේ ද, දැලෙක අසු වූ මසකු සේ ද, හැඟී යෑමෙන් තුන් භූමියට අයත් සියලු ධර්මයන්ගෙන් මිදෙනු කැමැති නුවණ ඇති විය. (මුඤ්චිතුකම්‍යතා ඤාණය49 පහළ විය.)

මිදෙන උපාය සොයන සේක්, චණ්ඩ මෘගයන් ඇති වනයකට වන්නකු ඉන් පැන යෑමට ඒ මේ අත මඟක් සොයා ඇවිදින්නාක් මෙන්, යළිත් සංස්කාරයන් අනිත්‍යාදී ත්‍රිලක්ෂණයට නඟා සම්මර්ශනය කළ සේක. (පටිසංඛානුපස්සනා ඤාණය)50ලත් සේක.

මෙසේ විදසුන් වඩන කල්හි දුරාචාර දෝෂයෙන් කලකිරී හරනා ලද භාර්යාවක සැඩොලුන් ගේ සමාගමයෙකැ සිටිනු දැක ද, ආලයක් හෝ අමනාපයක් නැති වැ උදාසීන වන්නාක් මෙන්, දොස් දැක්මෙන් කලකිරුණු, ඇල්ම හැර දැමූ, සංස්කාරයන් මධ්‍යස්ථ වැ බලනා නුවණ (සංඛාරුපෙක්ඛා ඤාණය)51 පහළ විය.

මෙහි කී උදයව්‍යය ඤාණය පටන් කොට සංඛාරුපෙක්ඛාඤාණය තෙක් වූ අෂ්ට ඥානයෝ මහබෝසතාණන් වහන්සේ විසින් පෙරැ බුදුවරයන් වෙත පැවිදි ව ධර්මය ඉගෙන විදර්ශනා වැඩීමෙන් ලදුවැ අළු යට ගිනි පුපුරු මෙන්, කුටියක් තුළැ ඇවිලෙන පහන් මෙන් සිටියෝ, වහා ම පහළ වැ ආහ.

උක්ත පරිදි වූ සංඛාරුපෙක්ඛාඤාණය පුරුදු කරන මහසතාණන් වහන්සේ ගේ ශ්‍රද්ධාව52 බලවත් විය, වීර්‍ය්‍ය මනාව වැඩිණ, සිහිය මොනවට එළැඹ සිටියේ ය. සිත සුසමාහිත විය. සංස්කාරෝපේක්ෂාව (සංස්කාරයන් මධ්‍යස්ථ ව බැලීම) ඉතා තියුණු විය.

සංඛාරුපෙක්ඛාව (සංස්කාරෝපේක්ෂාව) සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් සම්මර්ශනය කරමින් නැවැතැ භවාංගයට බැස ගති. ඉක්බිති, භවාංගයට අනතුරු වැ සංඛාරුපෙක්ඛා ඤාණයෙහි ආ පරිදි ම අනිත්‍යතාදි ත්‍රිලක්ෂණ අරමුණු කරමින් මනොද්වාරාවර්ජන සිත පහළ විය. ඉක්බිති යටැ පහළ වූ උදයව්‍යය ඥානාදි අෂ්ට ඥානයන් ගේ කෘත්‍ය සංසිද්‍ධියටත් මතු පහළ වියැ යුතු වූ බෝධිපාක්ෂික ධර්මයනටත් අනුකූල වැ, චතුස් සත්‍යයන් මුවහ කරන අවිද්‍යාව බිඳ හරිමින්, අනිත්‍යාදි තිලකුණු සර්වප්‍රකාරයෙන් ප්‍රකට කෙරෙමින්, සියලු ලෞකික විදර්ශනාවන් ගේ මුදුන් පැමිණ මහා කුශල ජවන ගත ඥානත්‍රයය පිළිවෙළින් බලවත් වැ පහළ විය. (සච්චානුලොමික ඤාණය පහළ වූයේ ය.)

ගෝත්‍රභූ ඥාන ලාභය

තදනන්තර ව පෘථග්ජන ගෝත්‍රය (ලෞකික බව) මඬිමින්, ඉක්මෙමින්, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරමින් ගෝත්‍රභූ ඥානය54 පහළ විය.