55ගෝත්‍රභූ ඥානය පහළ වැ නිරුද්ධ වීමට අනතුරුව එයින් දෙන ලද සංඥා ඇත්තක්හු සේ දුක දකිමින්, සමුදය දුරු කරමින්, (-දුකට හේතු වූ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නසමින්) නිරෝධ සත්‍යය (නිවන) අරමුණු කරමින්, මාර්ග සත්‍යය (අරිඅටැඟි මඟ) වඩමින් ප්‍රථම ඥාන දර්ශනය (සෝතාපත්තිමග්ග ඤාණය) පහළ විය.56
එයට අනතුරු ව සොතාපත්ති ඵලය ද, ඉන් පසු තමන් ආ මාර්ගය බලන මහා පච්චවෙක්ඛණ ඤාණය ද,57 ලත් මාර්ගයේ අනුසස් බලන ඵල පච්චවෙක්ඛණ ඤාණය ද, බිඳ හල කෙලෙසුන් විමසා බලන පහීණ කිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද, ඉක්බිති ඉතිරි වූ කෙලෙසුන් සොයා බලන වජ්ඣකිලෙස පච්චවෙක්ඛණ ඤාණය ද යන ඤාණයෝ පහළ වූහ.
යලිදු උදයව්‍යය ඤාණයේ සිට සංස්කාරයන් තිලකුණට නඟා බලන බෝසතාණන් වහන්සේට සංඛාරුපෙක්ඛාව කෙළවරැ අනුලෝම ඤාණ වෝදාන ඤාණයෝ ද තදනන්තර වැ දුක් පිරිසිඳිමින් රාගදෙවෂමෝහයන් තුනී කෙරෙමින් නිවන සාක්ෂාත් කෙරෙමින් අරිඅටැඟි මඟ වඩමින් දෙවෙනි ඥාන දර්ශනය (හෙවත් සකදාගාමිමග්ග ඤාණය58) පහළ විය. එයට අනන්තර වැ එහි ඵලය ද එයට පසු මාර්ගයත් ඵලයත් ප්‍රහීණ ක්ලේශත් ප්‍රහීණ නො කළ ක්ලේශත් පිරික්සන ප්‍රත්‍යවේක්ෂාඥානයෝ පිළිවෙළින් පහළ වූහ.
නැවැත ද මහා පුරුෂයාණන් වහන්සේ උදයව්‍යය ඥානයේ සිට සංස්කාරයන්ගේ ලක්ෂණ බලන්නට පටන් ගත් සේක. උන්වහන්සේට පළමු සේ ම සංස්කාරෝපේක්ෂාව අවසනැ අනුලෝමවෝදාන ඤාණයෝද, තදනන්තරව දුක් පිරිසිඳිමින්, සමුදය (කාමරාග ව්‍යාපාදයන්) ප්‍රහාණ කරමින්, නිවන් පසක් කරමින් අරි අටැඟි මග වඩමින් තෙවෙනි ඥාන දර්ශනය (අනාගාමි මාර්ගය)59 පහළ විය.
එයට අනන්තර වැ තදනුරූප ඵලය ද මාර්ග ඵල ප්‍රහීණ ක්ලේශ, ඉතිරි කෙලෙස් යන මොවුන් පරීක්ෂා කරන ඥානයෝ ද පහළ වූහ.
තවත් වධ්‍ය ක්ලේශයන් ඇති බව දැක පළමු පරිදි ම උදය ව්‍යයාදි නව මහා විදර්ශන ඥානයෙන් සංස්කාරයන් ලක්ෂණත්‍රයට නඟා ක්‍රමයෙන් විමසා බලන යෝගීන්ද්‍ර වූ මහා පුරුෂයාණන් වහන්සේ ට සංඛාරුපෙක්ඛා ඥානය ද, ඉන් පසු අනුලෝම වෝදාන ඥානයෝ ද පහළ වූහ. තදනන්තර වැ සියලු දුක් පිරිසිඳ දකිමින්, සමුදය (ඉතිරිවැ සිටි සියලු කෙලෙසුන්) වාසනා දෝෂ ද සමග විහත විධ්වස්ත කරමින්, නිවන් සාක්ෂාත් කරමින් මාර්ගය භාවිත කරමින්, සිවු වන ඥාන දර්ශන ය (අරහත්ත්වමාර්ග ඥානය) පහළ විය. මෙසේ සෝවාන් ආදී සතර මාර්ගයන් ලැබීම උන්වහන්සේ ගේ ඤාණදස්සන විසුද්‍ධි සම්පාදන යයි.
අර්හත්ත්වමාර්ග ඥානයට අනතුරුව අරිහත්ත්ව ඵලය ද ඉක්බිති මාර්ගත් ඵලත් ප්‍රහීණ ක්ලේෂත් නිර්වාණයත් යන මොවුන් පිළිබඳ වූ ප්‍රත්‍යවේක්ෂණ ඥානයෝ60 ද පහළ වූහ.
මහාපුරුෂයාණන් වහන්සේට අර්හත්ත්වමාර්ග ඥානය සමග ම සිවුපිළිසිඹියා ද ෂඩ් අසාධාරණ ඥාන ද තුදුස් බුද්‍ධඥාන ද අටළොස් ආවෙණික ධර්ම ද දශබල චතුර්වෛශාරද්‍යාදි අපරිමිත බුද්‍ධ ගුණයෝ ද සමෘද්ධ වූහ.
මෙසේ එදා රෑ ගෙවී අරුණු නගින කල්හි ම මහා පුරුෂයාණන් වහන්සේ ලෝදා එකලු කෙරෙමින්, සුබ නිමිති පළ කෙරෙමින් සවාසන සකල ක්ලේශ විද්ධවංසනයෙන් නිරුත්තර සම්‍යක්සම්බුද්ධ පදවියට පැමිණ වදාළ සේක.
බෝසතාණන් මෙසේ බුදු බව ලදුයේ කලියුග වර්ෂයෙන් 2513 වන්නෙහි පුර පසළොස්වක් දා ය.