ද්විතීය විද්‍යාව ලැබීම හා කංඛාවිතරණ විසුද්‍ධි සම්පාදනය

star_outline

නැවැත මහබෝසතාණන් වහන්සේ මධ්‍යම යාමයෙහි ද පළමු පරිදි ම ආනාපාන චතුර්ථධ්‍යානයට සම වැද ඉන් නැගී සිට, සත්ත්වයන්ගේ ච්‍යුත්‍යුපපත්තීන් බැලීමට සිත යොමුකළ සේක්, මරණයට ඉතා ළං වූ ද, එ කෙණෙහි පිළිසිඳ ගත්තා වූ දැ යි කළකම් පරිදි සුගති දුගති දෙක්හි මැරෙන උපදින නන් වැදෑරුම් සත්ත්වයන් දුටු සේක.

මෙසේ සත්ත්වයන්ගේ ච්‍යුති උපපත්ති දැක්මෙන් තත් ප්‍රතිච්ඡාදක මෝහය දුරු විය. “මම අතීතයෙහි වීම් ද, නොවීම ද යන ආදි වශයෙන් සොළොස් පරිද්දෙකින් වන සියලු සැකය 42 ද ප්‍රහීණ විය. (මේ වනාහි මහසතාණන් වහන්සේ ගේ කංඛාවිතරණ විසුද්‍ධි සම්පාදනය යි.)

රෑ තුන් වැනි යාමය පැමිණියේ ය. මහ බෝසතාණන් වහන්සේ පළමු සේ ම ආනාපාන චතුර්ථ ධ්‍යානයට සමවැද එයින් නැඟී සිට ස්කන්ධ පස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන සේක්, කලාප සම්මර්ශනයේ සිට එක් එක් පටිච්චසමුප්පාද අංගය සත්තානුපස්සනාවීථියට බැස් වූ සේක. මෙසේ විවසුන් වඩමින් අනිච්චානුපස්සනායෙන් නිත්‍යසංඥාව ද, දුක්ඛානුපස්සනායෙන් සුඛ සංඥාව ද, අනත්තානුපස්සනායෙන් ආත්මසංඥාව ද, විරාගානුපස්සනායෙන් රාගය ද, නිබ්බිදානුපස්සනායෙන් නන්දිය ද, නිරොධානුපස්සනායෙන් සමුදයය ද, පටිනිස්සග්ගානුපස්සනායෙන් ආදානය ද දුරලූ සේක.

නැවැත සියලු සංස්කාරයන් නාම රූප වශයෙන් දෙකට බෙදා උදය ව්‍යය වශයෙන් බලන උන් වහන්සේට ආලෝක පීති පස්සද්ධි ඤාණ සද්ධා සති සුඛ උපෙක්ඛා විරිය නිකන්ති යන විදර්ශනා උපක්ලේශ දහය පහළ විය.

ඉක්බිති ඒ ආලෝක ප්‍රීති ආදි ධර්මයන් නුවණින් බලන සේක්, “තෘෂ්ණා දෘෂ්ටි මානයට අරමුණු බැවින්” මොහු මාර්ගය නො වෙත්, තරුණ විදර්ශකයාට ධර්මතා වශයෙන් පහළ වන විදර්ශනෝපක්ලේශයෝ ම වෙති, මොවුන්ගෙන් මිදුණු විදර්ශනා වීථියට පිළිපන් නුවණ ම මාර්ගය වේ යැ” යි මෙසේ මාර්ගාමාර්ග පිරික්සා දැන ඒ ආලෝකාදීන් කෙරෙහි නො ඇලී සිත විදර්ශනා භාවනාවට ම යොමු කළ සේක.

(මෙහි උන්වහන්සේට පහළ වූ මාර්ගාමාර්ග පරීක්ෂා කැර තීරණ කොට ගන්නා තියුණු විදර්ශනා ප්‍රඥාව මග්ගාමග්ගඤාණදස්සන විසුද්‍ධි සම්පාදනයයැ.)45