බෝසතාණන් වහන්සේ දහවල් සමවත් සමවදිමින් කල් යවා එ දා සවස් හි සල් වනයෙන් නික්ම බෝරුක දිශාවට යන මාර්ගයට බැස ගමන් ගත් සේක. ඉදිරි මගින් එන ස්වස්තික නම් බමුණෙක් උන් වහන්සේ ගේ ආකාරය දැක තමා ගෙන එන කුසතණවලින් අට මිටකින් පුදා ගියේ ය. බෝසතාණන් වහන්සේ ද එය පිළිගෙන බෝරුක වෙත එළැඹි සේක. එළැඹ එහි දකුණු දිග්භාගයෙහි වැඩ සිටි සේක. එකෙණෙහි එ පෙදෙස නෙළුම් පතකැ දිය බිඳක් මෙන් කම්පිත වූ සේ පෙනිණ. එවිට මේ ප්‍රදේශය මගේ ගුණය උසුලනු නො හැකි යැ”යි සිතා, පශ්චිම දිශා භාගයට වැඩි සේක. හෙ ද කම්පිත වූ සේ පෙනිණ. උතුරු දෙසට ද වැඩ සිටි සේක්. එද චංචල වූ සේ පෙනිණ. ඉක්බිති නැගෙන හිර දෙසට වැඩි සේක්, එහි පර්යංකයක් පමණ තැන නිශ්චල යැ යි දැකැ “මේ මගේ කෙලෙස් නසන තැනැ” යි සනිටුහන් කොට එහි තණ අට මිට සලා,
අපරාජිත පර්යංකයෙන් වැඩ හිඳීම
“මේ ශරීරයේ සම් මස් ලේ ඇට නහර වියැලි සුණු විසුණු වන කල්හි ද පුරුෂස්ථාමයෙන් පුරුෂ විර්‍ය්‍යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබියැ යුතු වූ සම්‍යක් සම්බෝධිය ලැබ මිස මා උත්සාහය අත් නොහරිමි” යි චතුරංග වීර්‍ය්‍යය40 ඉටා බෝ කඳට පිට දී පෙර දිග බලා වජ්‍රාසනයෙන් (අජේය පර්යංකයෙන්)41 වැඩහුන් සේක.