නේරංජරා තීරයට වැඩීම

බෝසතාණන් වහන්සේ ද කිරිපිඬු සහිත රන් තලිය ගෙන නිල්දලා (නේරංජරා) ගංතෙර වැඩියහ. එහි සුපිහිටි තොට අස සෙවෙණෙහි රන්තලිය තබා, දියට බැස සනහා ගොඩ වූත් සිවුරු හැඳ පෙරව ගෙන සිසිල් රුක් සෙවනෙකැ හිඳ යථෝක්ත කිරිබත එකුන් පණස් පිඬක් කොට වැළඳු සේක. ඉන් පසු ‘ඉදින් අද ම බුදු වැ ගත හෙම් නම් මේ රන්තලිය උඩුගං යේ වා’යි ඉටා ඒ ස්වර්ණ පාතිය දියට දැමූහ. එය හොය මැදට දිවැ, දිය පිටැ දුවන නැවක් සේ උඩු ගං බලා ගොස්, දිය සළායෙකැ ගැසී දියේ ගැලිණ.37 ඒ දුටු බෝසතාණන් වහන්සේ තමන් බුදු වනු ඒකාන්ත යැ’යි සිතූහ.

භද්‍ර වනයෙහි දිවා විහරණය

ඉක්බිති මහා පුරුෂයාණන් වහන්සේ ගං තෙරැ පිහිටි පරම සුරභි කුසුම සමලංකෘත වූ, පත්‍රයන් ගේ නීලාවභාෂයෙන් ශෝභිත, මනෝරම්‍ය උත්තුංග ශාල වෘක්ෂ පංක්තීන් ගෙන් සුසජ්ජිත භද්‍ර වනයට වැඩි සේක . එහි දිවා විහරණය කරන සේක්, පෙර ආළාර උද්‍රකයන් වෙත් හි දී උපදවන ලද, පසු කලැ දුෂ්කර ක්‍රියා සමයෙහි නොවැඩූ හෙයින් මල බැදුණවුන් මෙන් වූ අෂ්ටසමාපත්තීන් හා පංචාභිඥාවන් පිරිසිදු කළ සේක. (මේ වනාහි මහසතාණන් වහන්සේ ගේ චිත්තවිසුද්‍ධි ලාභ39 යැ යි දත යුතු.)