මාර සංග්‍රාමය

මහා පුරුෂයාණන් වහන්සේට ගෞරව ස්තූති පූජා පිණිස, ගලා එන මහාජලෞඝයක් මෙන් අතුරු සිදුරු නැති සේ රැස් වන දිව්‍ය බ්‍රහ්ම සේනා හේතුයෙන් හාත් පස සියලු පෙදෙස මිහිබට දෙව් පුරයෙක සිරි ඉසිලී ය. මේ අතරැ කලින් ම ඈත එන සතුරකු දැක බිය ලකුණු සෙස්සනට ද පහළ කොට පැන යන්නක්හු සෙයින් හිරු අස්ත පර්වතය දිසාවට නැමුණු ගමන් ඇත්තේ විය. සඳ වූ කලී තමා නො තෙද වුවද වුවමනා විටෙකැ බෝසතාණනට පැරුම් පිරූ බවට දෙස් කියනු පිණිස නො බා එන හිතැති ගැත්තක්හු හෙයින් සුප්‍රකාශිත ශශ ලාංඡන ඇත්තේ ගගන තලය බබුළුවමින් උදා වන්නට ආරම්භ දැක්විය.

ඇසතු රුක් මුලැ පෙර දෙසට මුහුණ ලා රන් පුටුයෙකැ තැබූ රිදී කඳක් සේ පනස් රියන් උස් බෝ කඳට පිට දී මතුයෙහි දැරුණු දිව්‍ය මණිච්ඡත්‍රයක් වැනි නීල පත්‍ර සංඡන්න ශාඛාවන් ගේ සිසිල් සෙවෙණෙහි තණ ඇතිරි මතුයෙහි වජ්‍රාසනයෙන් වැඩ හුන් මහ බෝසතාණන් වහන්සේ ගේ ස්වර්ණ වර්ණ ශරීර ප්‍රභායෙන් මුළු පෙදෙස රන් රෙසෙහි ගිල්වනු ලබන කලෙක මෙන් අහිරාම ව බැබළිණ.

දුර්නිමිති

බෝධි වෘක්ෂය හාත්පසැ පැවැති මංගලෝත්සව අදිසියෙන් නැවතිණ. එතෙක් මහෝත්සවයෙන් කල් යැවූ සියලු දේව බ්‍රහ්ම සමූහයෝ ඈත එන අවාර්ය සතුරෙකු දැක්මෙන් සේ ක්ෂණයෙකින් හිස් ලූ ලූ අතැ දිවැ ගත්හ. එකෙකුදු එහි සිටින්නට සමත් නොවී ය. දහස් ගණන් උල්කාවෝ පතිත වූහ. ඝෝර දිග්දාහයෙක් විය. අහසැ ධූමකේතූහු දෘශ්‍යමාන වූහ. දිශාවෝ ඝනාන්ධකාරය භජනය කළහ. පෘථිවිය සුළඟින් පහළ වැලක් මෙන් සැලෙන්නට විය. හාත්පස චණ්ඩ වාතය හැමී ය. මේ ගැජුම් බඳු බිහිසුණු ගිගුම් ද විය. හැම අතින් වලාහක ප්‍රතිච්ඡන්න දුර්දිනයෙක ආකාර පහළ විය. රාහු ග්‍රහණ වේලායෙකැ සෙයින් බැස ගෙන යන සූර්යයා නටුවා වූ රශ්මි ඇත්තේ වී. වැසි නැති මුත් අහසෙහි දෙව්දුනු ද විදුලි ද දෘශ්‍යමාන වූහ. දිලියෙන ගිනි හෙන තැන තැන පතිත වීය. වන කවුඩු රැල නාද කරන්නට පටන් ගත්තු. හාත්පස උළලෙහණුන් ගේ ද මහ මුහුණන්ගේ ද අමනොඥ හඬ ඇසෙන්න විය. සොහොනින් නැගිට ආ ඇටසැකිලි රැසක් බඳු භය ජනක ප්‍රේත රැලක ගේ සංචාරයෙක් ද දෘශ්‍යමාන වීය. මේ සියල්ලටත් වඩා බිහිසුණු වූ ලොමු දහගන් වන සුලු කබන්ධ රූපයෙක් (හිස නැති සිරුරෙක්) අහසැ හැසිරෙන්නට වන.

මෙ සේ අශුභ අනිටු නානාප්‍රකාර දුර්නිමිති පහළ වෙමින් පවත්නා කල්හි ම කඩු පොරෝ ශර අඩයැටි තෝමර ආදිය ගත් අතැති, විහිදෙන ගිනිදැල් හා විස දුම් සහිත විවෘත මුඛ ඇති, නග්න දුර්වර්ණ ප්‍රෙතාදීන් වැනි නොයෙක් අප්‍රිය දර්ශන ඇති භයංකර සත්ත්ව සමූහයන්ගේ බෝමැඩ දිශාවට දිව ඊමෙක් විය. “ගනිවු, තළවු, මරවු” යන ආදී ක්‍රෑර වචන ද හැම දෙසින් ශ්‍රැයමාණ විය. බිහිසුණු වෙසින් එහි රැස් වූයේ බ්‍රහ්ම පර්ෂදට ද ආවිෂ්ට වැ පීඩා කිරීමෙහි පොහොසත් කාමභූමිශ්වර වූ වසවර්ති මාරයා සහිත තත් සේනාව ය. එහෙත් ඔහු බෝ මැඩට ඇතුළු වියැ නොහී පිටත මැ සිටියහ.

මහා සත්ත්වයන් වහන්සේ ඔවුන්ගේ පැමිණීම සුළඟින් පරණලා ගසා ඊමක් පමණට ද නො තකා, පක්ෂීන් මැද ගුරුළු රජක් හු සේ, මුවන් මැද කේශර සිංහයකු සේ, අජේය වූ පැරුම් බල ඇති වැ විශාර ද වැ වීතභය වැ හුදෙකලා වැ වැඩ හුන් සේකි. මර සෙනඟ ගෙන අඩැසින් බල බලා අවුත් සිටි මර තෙම “මම් මැ යැ මුළු ලොවට ජ්‍යෙෂ්ඨ, දෙව් මිනිස්නට ශ්‍රේෂ්ඨ යැ”යි සිතා “මිනිස් ලියක කුසැ කලලයෙහි කුණු මසෙක පණුවකු සේ උපන් මේ මහණ නිර්ලජ්ජීය, තමා පමණ නො දනී. මා වැන්නකු ඉදිරියේ සිටියදීත් නො ම නැගී සිටි යැ” යි මහසතාණන් වහන්සේ ට ගර්හා කෙළේ ය. ගරහා, මොහු බිය ගන්වා පලවමි” යි සිතා නව විධ වර්ෂාවන් මවා ලී ය. බෝසතාණන් වහන්සේට ඉන් පීඩාවෙක් නොවී ය. ඉක්බිති තමා නැඟී හුන් ගිරිමේඛලා ඇතු මහසතාණන් වෙත පමුණුවා “එම්බා සිද්‍ධාර්ථ, ඔය පළඟින් නැගිටුව”යි කී. මහසතාණන් වහන්සේ සිය පා මුලෙහි කෙළනා ළදරුවා අතින් පයින් පහර දෙන කල්හි දු, කිසි වියරුවක් කරන කල්හි දු, පුත්‍ර ප්‍රේමයෙන් වැළඳ ලෙහි හොවා ගන්නා දයාබර පියකු සේ, එ මරහු ගේ විකාරයෙන් අකම්පිත වැ මදකුදු දොම්නසක් නො කොට දයාබර වූ සේක්, මෙත් වඩනා සේක්, මරහු දෙස බලා “මාරය, මම මෙයින් නො ම නැගිටිමි”යි වදාළහ. යලි හාත්පස රැස්ව සිටි මර සෙනඟ ද ගිරිමෙවුල් ඇතු නැඟි මරහු ද බලා, වටා සියලු පෙදෙසැ ඉතිරැ පැතිරැ සිටි ගිරිමෙවුල් ඇතු නැගී මරු සහිත සේනාව දැක, “මේ ධර්ම යුද්‍ධය පිණිස නො පසු බට සිතින් ඉදිරිපත් වෙමි. යම් සේ මර තෙම මා මේ පළගින් සොලවන්නටත් නො හැකි වන්නේ ද එසේ ම කරන්නෙමි” යි ඉටා,

“මාරය, සදේවක ලෝකයා විසින් යුෂ්මතා ගේ කාමාදිසේනාව අජේ ය ය. එය දනිමි. එහෙත් මම් ඒ තාගේ බිහිසුණු මර සෙනඟ අමු මැටි බඳුනක් ගලෙකින් සෙයින් ප්‍රඥායෙන් බිඳැ ලන්නෙමි. මාරය, ආර්‍ය්‍ය මාර්ගය වැඩීමෙන් සියලු මිථ්‍යා කල්පනා දුරු කොට සම්‍යක්සංකල්පය පවත්වා, කායාදි සතර තන්හි මොනොවට පිහිටුවා ලූ, සිහි ඇති වැ, සව්වන් හික්මවමින් රටින් රට යන්නෙමි. මගේ අනුශාසනා පරිදි පිළිපදින එ සව්වෝ නො මුළා සිහි ඇත්තේ, නිවන් කරා මෙහෙයූ සිතැත්තෝ, යුෂ්මතා ගේ නො කැමැත්ත කිසිදු නො තකා, යෑමෙන් පසු තමන් ශෝක නො කරන තෙනට (-අමා මහ නිවන් පුරට) යන්නාහ” යි වදාළ සේක.

එය අසා මාර තෙම, “මහණ, මෙ බඳු රළු යකකු වූ මා දැකත් බිය නොගන්නෙහි දැ? යි ඇසීය.

“එසේ ය, මාරය, නො බාමි” යි බෝසතාණන් වහන්සේ වදාළ සේක.

“කුමක් හෙයින් නො බොනෙහි දැ” යි මර ඇසී ය.

“මා දානාදි පැරුම් පිරූ හෙයිනැ”යි බෝසතාණන් වහන්සේ වදාළ සේක.

“යුෂ්මත්හු පින් කළැ යි කවරෙක් දනී දැ” යි මාර ඇසී ය.

එ විටැ මහ බෝසතාණන් වහන්සේ,

“මාරය, මෙහි ලා දෙස් දැක්වීමෙක් කුමට ද? අවශ්‍ය නම් එක් වෙසතුරු අත්බැවෙහි පමණක් දුන් දනින් සත් යලක් කම්පිත වූ මේ මහ පොළොව ම දෙස් වේ යැ”යි වදාරා, සැඳෑ වලා ගැබින් නිකුත් විදුලියක් සෙයින්, සිවුරු ගැබින් දක්ෂිණ ශ්‍රී හස්තය නිකුත් කොට බිමට දිගු කළ සේක. එ කෙණෙහි මහ පොලොව බිහිසුණු හඬ දෙමින් කම්පිත විය. ඒ ඇසූ මර තෙම සෙන පහර ලදුවකු සේ බිය පත් වැ ධ්වජය නමා ගෙන සෙනග හා පලා ගියේ ය. මෙසේ හිරු ධරමාන කල්හිම බෝසතාණන් වහන්සේ දෙව්පුත් මරහු පරද වා විජයශ්‍රීය ලැබූ සේක.

ජය පරාජය බලමින් ඈත සිටි දෙව් බඹුහු මහතාණන් ලත් විජය ශ්‍රිය දැක “එවු නිදුකාණනි. සිද්‍ධාර්ථයන් වහන්සේ ට ජය ය. අසිද්‍ධාර්ථ වූ මරහට පරාජය ය. ජයමංගලය ද බුද්‍ධ මංගලය ද එකට කරන්නමු” යි කියා, එක් පැහැර අවුත් බෝ මැඩ වටා රැස් වූහ.

සහශ්‍ර රශ්මීන් ශෝභිත වූ සූර්‍ය්‍ය මණ්ඩලය නිම් වලල්ල ගෙන දියෙහි ගිල්වනු ලබන රන් සකක් සේ අවර දිගින් බැස්සේ ය. කාන්ත වූ ප්‍රභා සමුදය විහිදුවමින් අහස් ගබ හොබවමින් නේමිය ගෙන ගසනු ලදුව අහස බමන රිදී සකක් මෙන් පුර සඳ ප්‍රාචීන දිග්භාගයෙන් නැංගේ, ඒ මුළු රෑ දැවෙන ප්‍රදීපයෙක ශ්‍රීය දැරී ය. තරු සහිත වලා නැති පිරිසිදු අහස මහතාණන් මතුයෙහි මණිඛවිත දිව්‍ය විතානයෙක ශෝභාව ගත්තේ ය. පෘථිවිය හාත්පසැ වලයාකාර ක්ෂිතිජය විශාල වූ සාණි ප්‍රාකාරයක් ලෙසින් දිස් විය. මහී වර වධුව ගේ හෘදය ස්ථානීය වූ උත්තම ස්ථානයෙහි පිහිටි බෝධි මණ්ඩය අනන්‍ය සාධාරණ මණ්ඩපයෙක ශ්‍රී ඉසිලී ය. මුල පටන් ශාඛාග්‍රය තෙක් සියක් රියන් පමණ උස් වූ ඝනබද්ධ මයුර පිංජ කලාපයක් සේ විද්‍යෝතමාන වූ, මත්තෙහි දැරුණු මණිචඡත්‍රයෙක ශෝභාව ගත් බෝධි වෘක්ෂරාජයා ගේ සෙවණෙහි, සුධර්මායෙහි ඉන්ද්‍රාසනාරූඪ සනත් කුමාරයාට ද නිගා දෙමින් වැඩ ඉන්නා ජගදේක වීරපුරුෂයාණන් වහන්සේ, විජිත දිව්‍ය පුත්‍ර මාරයා ඇති සේක්, අවශේෂ මාරයන් හා ද සංග්‍රාමයට සැරසුණු සේක.