ටික වෙලාවකින් පසු රජ ගෙයින් නික්මුණු තවුසාණෝ සිය නැඟණියන්ගේ ගෙට ගියහ. තමන් බැහැණනු නාලක බමුණු කුමරුවා12 බණවා “පුතා, ශුද්ධෝදන රජුට උපන් පුත්‍රයාණෝ වයස තිස්පහ වන විට ලොවුතුරා බුදු වන්නාහ. නුඹ අද ම එතුමාණන් නමට පැවිදි වන්න. එ තුමාණන් බුදු වූ පසු එහි ගොස් දෙන අවවාද පරිදි පිළිපැද දුක් කෙළවර කරන්නැ” යි කියා එතැනින් නික්ම ගියාහ. එදාම නාලක කුමරු කඩ වීදියට කෙනකු යවා කසාවතුත් මැටි පාත්‍රයකුත් ගෙන්වා ගෙන කෙහෙ රැවුලු බහවා ගෙන කසාවත් හැඳ පෙරවැ පාත්‍රය උරේ එල්ලාගෙන බෝසතාණන් දිශාවට දොහොත් මුදුන් තබා වැඳ ගෙන “මගේ මේ පැවිද්ද ලොවැ අසහාය මහතාණන් උදෙසායැ” යි කියා උද්දිස්සක පබ්බජ්ජායෙන් පැවිදි විය. ඉක්බිති මෑණියන් ගෙන් සමුගෙන හිමවත් පෙදෙසට ගොස් තපස් කෙළේ ය. මහ බෝසතාණන් උදෙසා පැවිදි වූ පළමු ම තැනැත්තා මේ නාලක කුමරාය.12