නාමකරණ මංගලය

බෝසතාණන් වහන්සේ ඉපිද පස්වැනි දවස විය. සුදොවුන් රජතුමා පුත්‍රයාණන්ගේ ශරීර ලක්ෂණ පිරික්සැවීමට ද නමක් තැබ්වීමට ද අදහස් කෙළේ ය. මෙසේ හේ උගත් බමුණන් එක්සිය අට දෙනකු ගෙන්වා අන්නපානාදියෙන් සත්කාර කොට, තමා ඔවුන් ගෙන්වු කාරණය සැළ කෙළේ ය. ඔහු ද “මැනැවැ” යි ගිවිසැ තුමූ ම සාකච්ඡා කොට තම පිරිසෙහි වූ අග්‍ර ම පඬිවරුන් අට දෙනාට ඒ කාර්‍ය්‍ය පැවරූහ. ඒ අට දෙනා වනාහි රාම, ධජ, ලක්ඛණ, මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බමුණෝය.13

ඔහු බෝසතාණන්ගේ ගත ලකුණු විමැසූහ. තමන් දත් ශාස්ත්‍රය පරිදි සිය නිගමනය පැවැසූහ. “මේ කුමාරයාණෝ ගිහිගෙයි රැඳෙන්නාහු නම් මුළු පොළොව ම පාලනය කරන සක්විති රජෙක් වන්නාහ. ඉදින් ගිහි ගෙයින් නික්ම ගියෝ නම් පැවිදි ව ලොවුතුරා බුදු වන්නාහ යි ඇඟිලි දෙකක් ඔසොවා රාම, ධජ, ලක්ඛණ යන තිදෙන කීහ. එහෙත් අනිත් මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන පස් දෙනා කුමාරයාණන්ගේ ගත ලකුණු බලා එකැඟිල්ලක් ම ඔසොවා, “මහරජාණනි, අප දන්නා ශාස්ත්‍රය අනුව නම් මෙතුමාණෝ කිසිසේත් ගිහිගෙයි නොරැඳෙන්නාහ. ගිහි ගෙන් නික්ම පැවිදි වූ ලොවුතුරා බුදු වන්නාහු මැයැ” යි නිශ්චිත කොට කීහ. ඉක්බිති “පුතකු ලබම්හ” යි බොහෝ කලක් රජහු බලාපොරොත්තු වූ අර්ථය සිද්ධ කළ බැවින්[1], “සිද්ධ කළ අභිමතාර්ථය ඇත්තේ ය” යන අදහස අනුව, “සිද්‍ධාර්ථ” යන නම දුන්හ.14

“මගේ පුත්‍රයාණෝ කරුණක් නැති ව ගිහිගෙය හැර නො යති. කිමෙකින් කලකිරී ගිහිගෙය හැර දමා යන්නේ දැ?” යි රජ ඇසී ය. බමුණෝ තමන් උගත් මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව15 අනුව විමසන්නෝ “මහල්ලකුත් ලෙඩකුත් මිණියකුත් පැවිද්දකුත් දැක ම ගිහි ගෙය හැර යන්නාහ” යි කීහ. පුත්‍රයාණන් සක්විති රජක්හු වී සිටිනු දක්නට ම අපේක්ෂා කළ රජ තුමා “ඒ පෙර නිමිති දැක්ම වැළැක්වූ විට ගිහිගෙයි ම රැඳෙතැ” යි සලකා එසේ කරන්නට ඉටා ගත්හ.

එතැන් සිට බෝසතාණෝ ගෝත්‍ර නාමයත් සහිත ව සිද්‍ධාර්ථ ගෞතම නමින් ප්‍රකට වූහ.

  1. ලොවට මහත් අර්ථයක් සිදු කිරීම පිණිස උපන් හෙයින් සිද්ධාර්ථ යැ යි නම් කළ හැයි පාළි අටුවාහි දැක්වේ.