අසිතර්ෂින් පැමිණීම

ශුද්ධෝදන රජතුමා ළපැටි වියෙහිදී සිප්සතර උගත්තේ එවකට සිංහහනු රජුහට පුරෝහිත වැ සිටි අසිතදේවල නම් බමුණු පඬිවරයා ගෙනි. සිංහහනු රජු කලුරිය කළ නොබෝ කලෙකින් හේ තවුස් පැවිද්දෙන් පැවිදි වූ රජගෙට නොදුරු උයනේ වැස ධ්‍යාන වඩා පංචාභිඥා හා අෂ්ට සමාපත්තීන් ඉපදැවීය. හෙතෙම කිසි විටෙක දෙව් ලොව ගොස් කිසි කෙනෙකු නැති ශුන්‍ය විමානයක රැඳී සමවත් සුවයෙන් කල් යවයි.

බෝසතාණන් වහන්සේ උපන්දා ද එ තුමාණෝ පෙර වරුයෙහි රජගෙහිදී දන් වළඳා තව්තිසා දෙව්ලෝ වැඩ කිසි ම කෙනකු නැති ශුන්‍ය දිව්‍ය විමානයෙක ධ්‍යාන සමාපත්තියෙන් කල් ගෙවී ය. ටික වෙලාවකට පසු (දඹදිවට සවස් වූ වේලෙහි) සමාපත්තියෙන් නැඟී සිටියහ. වටපිට බලනුවෝ ගැයුම් වැයුම් ආදියෙන් සැණකෙළි කෙළනා දෙවියන් දුටුහ. දැක එයට කරුණු විචාළාහ. “බුදුවන මහ බෝසතාණන් වහන්සේ අද කිඹුල්වත් නුවර ශුද්ධෝදන රජුගේ අගබිසෝ වූ මහාමායා දේවීන් කුසින් බිහි වූහ. එ හෙයින් මෙසේ සැණ කෙළි පවත්වම්හ” යි දෙවියෝ කීහ. තවුසාණෝ එය අසා වහා ම දෙව්ලොවින් නික්ම කිඹුල්වත් පුර පැමිණ සුදොවුන් මහරජුගේ මාලිගාවට වැඩියාහ. රජතුමා වඩිනා තවුසාණන් දැක වහා අසුන් පණවා ඉදිරියට ගොස් වැඳ රජගෙට කැඳවා ගෙනවුත් අස්නක් පිළිගැන්වී ය. තවුසාණෝ හිඳගත්තාහු ම “මහරජ, තොපට පුතෙක් උපන්නේ ලු. ඔබේ ඒ පුත්‍රයාණන් දක්නා කැමැත්තෙන් ආම්හ” යි සැළකළහ.

රජ තෙම මහාමායා දේවීන් හොත් ගබට ගොස් “ආචාර්‍ය්‍යන් වහන්සේ, අප පුතාණන් දකිනු රිසින් අවුත් හිඳිති” යි කියා බිසොවට සැළකොට කුමරුවාණන් වඩා ගෙන තවුසාණන් වෙත ආයේ ය. මහාමායා බිසෝ ආදි කවුරුත් අවුත් තවුසාණන් වැඳ පසෙක සිටියාහ. රජතුමා පුත් කුමරුවා තවුසාණන් ළඟට ගෙන ගොස් “පුතා තාපසයාණන් වහන්සේ වැඳ පින් සිදු කැරැගන්නැ” යි කියා තවුසා දෙසට කුමරුවා යොමු කළේය. එකෙණෙහි ම පුත් කුමරුවාණන් ගේ සිරිපතුල් දෙක එසැවී තවුසාණන් ගේ හිසැ ජටාමඩුල්ල මත පිහිටියේස්ය. අසිත තවුස් තුමාණෝ දෙවියන් කී වචන ද සිහි කොට අනාගතාංශඥානයෙන් ද බලනුවෝ “මේ ලොවුතුරා බුදු වන මහා උතුමාණෝ යැ” යි දුටුහ. දැක වහා අස්නෙන් බැස කුමරුවාණන් ගේ දෙපා තමන් හිස මත්තෙහි තබා ගෙන වැන්දාහ. තමන් හැම දෙනා ගෙන් ම වැදුම් ලබන තවුසාණන් කළ දෑ දුටු රජු ද මහාමායා දේවී ද රැස් වැ සිටි සෙසු හැම දෙනා ද මහත් පුදුමයට පත් වූහ.

තවුසාණෝ කුමරුවාණන් වඩාගෙන ශරීර ලක්ෂණ ද විමසනුවෝ දෙතිස් මහා පුරිස් ලකුණු දුටුහ. දැක සිනහ පහළ කොට මඳක් නිහඬ වැ හිඳ හැඬූහ. සෘෂීන්ගේ සිනාවත් හැඬීමත් දුටු සියල්ලෝ කැලඹුණහ. “ඔබවහන්සේ සිනාසී හැඬුයේ මන්ද? කුමරුවනට සැපත සේ ම විපතකුත් වෙති දෝ?” යි විචාළහ.

තවුසාණෝ කියන්නාහු “මෙතුමාණෝ මතු බුදු වන්නාහ. එය දැකීමෙන් හටගත් ප්‍රීතිය නිසා සිනහ පහළ විය. “මෙතුමාණන් ගේ බුද්‍ධශ්‍රීය දැක්කහෙම්දැ?” යි අනාගතාංශඥානයෙන් බැලූ විට මා තව ටික කලෙකින් මැරෙන බව ද බෝසතාණන් ලබන බුදුසිරි දකින්නට නොලැබෙන බවද11 දුටුයෙමි. මුල් කරුණින් සිනහව ද දෙවෙනි කරුණින් ශෝකය ද ඇතිවී යැ” යි තවුසාණෝ පැවසූහ. තවුසාණන් වඳිනු දුටු රජතුමා ද පුත්‍රයාණන් ගේ දෙපතුල් නලළ මතැ තබාගෙන නමස්කාර කෙළේ ය.