ආවාහ මංගලය

star_outline

එක් දිනෙක ශුද්ධෝදන මහරජුත් සෙසු රජුහුත්[1] මැති වරුත් කිඹුල්වත් පුර සංස්ථාගාර ශාලායෙහි රැස් වැ රාජ්‍යයෙහි කටයුතු පිළිබඳ ව සාකච්ඡා කෙරෙමින් හුන්හ. එහි දී මහළු ශාක්‍ය රජවරු ශුද්ධෝදන මහරජුට “දේවයිනි, නිමිත්ත පාඨකයන් කී පරිදි සිද්‍ධාර්ථ කුමාරයෝ ගිහිගෙහි වුසූවොත්, චක්‍රවර්ති රජ කෙනෙක් වන්නාහ. පැවිදි වුවොත් බුදු වන්නාහ. ඔබත් අපත් පතනුයේ ඔවුන් චක්‍රවර්ති රජ කෙනෙකුන් වීම යි . මෙසේ වූ කලැ පෙරද චක්‍රවර්ත්තීන් සිටි අපේ වංශය නොසිඳී දිගට ම පවතින්නේ ය. අපි හැම සෙසු රටවලැ රජුන් විසින් මානිත ද පූජිත ද වන්නමු. එබැවින් කුමාරයනට ස්ත්‍රීගණයා සහිත කුමරියක පාවා දියැ යුතු කාලය පැමිණියේ යැ”යි කීහ.

“එසේ ය, කුමාරයනට සුදුසු කුමරියක සොයා බලන්නැයි” යි මහරජු කීය. එහි සිටි රජෙක් “මගේ දුව සුදුසු යැ” යි කීය. සෙසු රජහුත් “අපේ දූහු සුදුසු යැ” යි කීහ.

එවිට ශුද්ධෝදන රජ්ජුරුවෝ “සිද්‍ධාර්ථ කුමාරයෝ ලෙහෙසියෙන් අනුන්ගේ බසට නො නැමෙන කෙනෙක. එහෙයින් පළමු කොට ඔවුන් කැමති කුමරිය කවරී දැ? යි ගොස් අසමු” යි කීහ. ඉක්බිති ශුද්ධෝදන මහරජු ප්‍රධාන කොටැති ඒ හැම දෙනාම සිද්‍ධාර්ථ කුමාරයන් වෙත එළඹුණහ. එළැඹ කාරණය සැළ කළාහ. “මම් මෙයින් සත්වැනි දිනෙහි උත්තරයක් දෙන්නෙමි” යි කුමාරයෝ කීහ. ඉක්බිති එතුමෝ විවේකී වැ හිඳ මෙසේ සිතූහ.

“කම් සැපෙහි දොස් අනන්ත ය. කලහ වෛර ශෝක නානාවිධ දුක් කරදර ඇති වීමට කම් සැපත මුල් වේ. කම්සැප බියකරු ය. කෑ කෙණෙහි දිවි නසන විෂ ඵල පත්‍ර බඳු ය. ගිනි ජාලාවක් බඳු ය. කඩුමූණතක් බඳු ය. මට කම් සැපත කෙරෙහි කිසිම ආශාවෙක් නැත. ස්ත්‍රීන් මැද විසීම මට රිසි නො වේ. වනයකට වී ධ්‍යාන සමාධි සැපයෙන් වසන්නට ඇතොත් මැනැව”

මෙසේ සිතා, “මගේ අදහස පියාණනට දන්වා කිසි සේත් වනවාසයට යන්නට නම් අවසර ගත නො හැක්ක. එබැවින් ඔවුනට කළ නොහැකි දැයක් ලියා දන්වමි”යි සිතූහ. සිතා මෙසේ ලිපියක් සැකැසූහ.

“මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන ගුණ ඇත්තියක විය යුතු. ඕ රූපමදයෙන් මත් නොවිය යුතු. මවක සේ සොහොයුරියක සේ මෙත් සිතැත්තියක විය යුතු. මහණ බමුණනට දන් දීමෙහි ඇලුණියක වියැ යුතුය. මානය, කිපෙන ගතිය. ශඨ බව, ඊර්ෂ්‍යාව, වංක බව යන දුර්ගුණ නැති ස්වාමිභක්තිය ඇති, උඩඟු නොවූ, හැඩි දැඩි නොවූ, රසයෙහි ගිජු නොවූ, ගැයුම් වැයුම් ආදී වශයෙන් පැවැත්වෙන ගාලාගෝට්ටි කෙරෙහි ඇලුම් නැති, සුවඳ විලෙවුන් දැරීමෙහි ආශා නැති, ලොහොබි නොවූ, අන් සතු දැය දැක ආශා නො කරන, සත්‍යවාදී වූ, සැපතෙහි දී ආඩම්බර නොවන. විපතෙහි දී නො තැවෙන, ඒ හැම තැන දී මධ්‍යස්ථ (උපේක්‍ෂක) වැ සිටින, ලජ්ජා බය ඇති, දෘෂ්ටමංගල ශ්‍රැතමංගලයෙහි (ප්‍රිය දෑ දැකුම් ආදියෙන් සුබ පල ලැබෙතැයි යන මතයෙහි) නොඇලුණු, ගුණදහමින් යුත්, හැම කල්හි හිත කය වචන යන තුන්දොර ම පිරිසිදු ලෙස රැක ගන්නා, අලස බැවින් කුසීත බැවින් දුරු වූ, කුලමාන වංශ මානයෙන් මත් නොවූ, විමසා කටයුතු කරන, ධර්මාචාරී වූ, නැඳිමයිලන් කෙරෙහි ගුරුනට සේ ආදර ගෞරව ඇති, දාසියක සේ යටහත්, මවක සේ කාරුණික, කුහක නොවූ එකියක විය යුතු, මෙබඳු ගුණ ඇති කුමරියක ලදොත් පිළිගනිමි”යි යනු යැ.

මෙය ලියා ශුද්ධෝදන මහරජුනට දුන්හ. මහරජ එය කියවා බලා පෙරෙවි බමුණා කැඳවා. “බමුණාණනි යන්න, මෙහි සඳහන් ගති ගුණ ඇති කන්‍යාවක් ඇද්ද?” යි සොයා බලන්න. යම් කන්‍යාවක කෙරෙහි මේ ලිපියෙහි සඳහන් ගුණ ඇත්නම්, ඕ ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර යන කවර කුලයෙක එකියක වුව ද කම් නැත. මගේ පුතාණෝ කුල වංශ ගෝත්‍ර භේද නො සලකති. ඔහු ගුණදහම පමණක් සලකන්නාහ”යි කීහ. බමුණු තෙමේ ද ලියැවිල්ල ගෙන හැම තැන ම විමසමින් හැවිදිනුයේ, මානාධික වූ ශාක්‍ය කන්‍යාවන් අතුරෙහි හෝ අන් කුලවල දැරියන් අතරැ හෝ ලියවිල්ලෙහි දැක්වෙන සියලු ම ගුණවලින් පරිපූර්ණ තැනැත්තියක සොයා ගත නො හැකි විය. නො පසු බැස තවදුරටත් සොයා හැවිදුනා, හෙතෙම එක් රාජවංශිකයකුගේ[2] ගෙයකට පිවිසියේ පෙරැ නොදුටු විරූ රූප සම්පත්තියෙන් යුත් කන්‍යාවක දිටී ය. බමුණා දුටු කුමරි වහා ඉදිරියට අවුත් පෙරෙවි බමුණා ගේ පාමුලැ වැටී දෙපා අල්ලා “ඔබට කිමෙක් අවශ්‍යදැ?” යි ඇසුවා ය. හේ ලියවිල්ල පෙන්වා ශුද්ධෝදන මහරජු පුත් සිද්‍ධාර්ථ කුමාරයා මේ ලියවිල්ලෙහි දැක්වෙන ගුණ ඇත්තියක ආවාහ කොට ගන්නට අපේක්ෂා කෙරෙතියි සැළ කෙළේය. මේ කුමරී නම් යශෝධරාවෝ ය. ඕ ලියැවිල්ල අතට ගෙන කියවා බලා එහි සඳහන් සියලු ගති ගුණ තමා තුළ ඇති නියාව දැක, “බමුණාණනි, මෙහි සඳහන් හැම ගුණ ම මා කෙරෙහි ඇත. සිද්‍ධාර්ථ කුමාරයෝ මගේ ස්වාමීහු වෙත්වා. එය කුමාරයනට කියන්නැ. පහත් ගති ඇති කිසිවකු හා එක් වැ මගේ වාසයෙක් නොවන්නේයැ” යි කීවාය. මේ යශෝධරාවෝ සුප්‍රබුද්‍ධ රජුන්ගේ, සුදොවුන් රජුගේ සොහොයුරියකගේ, දියැණියෝ ය.

බමුණාණෝ ගොස් සුදොවුන් මහරජුට යශෝධරාවන් පිළිබඳ වැ තමා විමසා දත් සියල්ල සැළ කළාහ. එවිට රජ තෙම “කුමාරයෝ දුරා සදහ, ගුණ දහම් හි ම ඇලුණේ ය. ඇතැම් විට ස්ත්‍රීහු තමන් කෙරේ නැති ගුණ ද ඇති සේ අඟවති. එ බැවින් කුමරියක තෝරා ගැන්ම කුමාරයනට ම පැවැරීම නුවණට හුරු යැ මම එයට උපායක් යොදමි” යි කියා, ස්ත්‍රී පලඳනා රාශියක් කරවා “මේවා කුමරුන් ලවා රැස්වන ශාක්‍ය කුමාරිකාවනට දෙවන්නෙමියි ද, මේවා දීමේ දී යම් එකියක කෙරෙහි කුමරුවෝ වැඩි සැලකිල්ලෙන් බැල්ම හෙලූහු නම්, ඇය පාවා දෙමැ”යි ද සිතා ගත්තේ ය. ඉක්බිති රන් රිදී මුතු මැණික් යොදවා ස්ත්‍රී පලඳනා රාශියක් කැරැ වී ය.

එයට පසු “තව සතියෙකින් කපිලවාස්තුවෙහි සංස්ථාගාරශාලාවෙහි සිද්‍ධාර්ථ කුමාරයෝ පෙනී සිටින්නාහ. එහි එන සියලු දැරියනට තුටු පඬුරු දෙන්නාහ. ඒවා ලබනු කැමැති සියලු දැරියන් එදා සංස්ථාගාර ශාලාවට පැමිණිය යුතු යැ” යි හැමතැන ම ඝණ්ඨාඝෝෂණාව කැරැ වී ය.

සත් වන දිනයෙහි බෝසතාණෝ සංස්ථාගාර ශාලාවට වැඩ තමනට නියමිත භද්‍රාසනයෙහි හිඳගත්හ. ශුද්ධෝදන රජ ද කවර නම් තැනැත්තියකට කුමාරයාණෝ වැඩි සැලැකිල්ලක් දක්වත් දැ’යි විමසා තමාට දන්වන්නැ’යි රහසින් බලා සිටින්නට රාජපුරුෂයන් කිහිප දෙනෙකු ද යෙදී ය.

කුමාරිකාවෝ එකියකට පසු වැ එකියක් දැ යි පිළිවෙළින් කුමාරයාණන් වෙත ආහ. සිද්‍ධාර්ථ කුමාරයාණන් රූපශ්‍රීයෙන් අගපත් වුව ද ඒ එක්ක ම පැවැති තේජස නිසා ඒ කිසි ම කුමරියක් කුමාරයාණන් දෙස කෙලින් බලනට නො සමත් වූවා ය. බිම බලා ගත් වන ම අවුත් කුමාරයාණන් දෙන පඬුර පිළිගෙන වහා නික්මියා ය. සිද්‍ධාර්ථ කුමාරයෝ ද තුටු පඬුරු දුන්නාහු නුමුදු ඒ කිසි ද කුමරියක දෙස ඕනෑකමින් නො බැලූහ. මැදහත් බැල්මෙන් යුතු ව ඒ හැම දෙනාට ම තුටු පඬුරු දුන්හ. වටා ආසනවල හිඳ බලා සිටි ශාක්‍යධිපතීහු කුමාරයාණන්ගේ ඉරියවු දැක, “මේ නම් මහ පුදුම කෙනෙක. දෙව් කුමරියන් බඳු මේ තරම් රූසිරින් හෙබි මේ කුමරියන් දැක ද ඕනෑකමින් බැල්මකුදු නො හෙළී ය. සිනහ පමණකුදු නො පෑයේ ය. කිසි කෙනකු විසිනුත් නමා ගත නොහැකි තද සිතැත්තෙකැ”යි ඔවුනොවුන් කතා බස් කළහ. සියලු කුමරියන් නික්ම ගිය නොබෝ වේලායෙහි යශෝධරාවෝ ආහ. අවුත් කුමාරයාණන් වෙත ගොස් ඔවුන් දෙස බලාගත් වණ ම පසෙක සිටියාහ. මේ වන විට දීමට පිළියෙල කැරැ තුබුණු සියලු ම පළඳනා දී නිම වී තිබිණ. එහි යශෝධරාවනට දෙන්නට කිසිත් ඉතිරි නොවී ය. යශෝධරාවෝ කුමාරයාණන් ළඟට ම ගියාහ. ගොස් සිනාමුසු මුහුණින් යුතුවැ “කුමාරයාණනි, මට තුටු පඩුරක් නොදෙන්නහු ද? ඔබෙන් යමක් පතා ආ මට සැලකිල්ලක් නො දක්වවු දැ” යි, ඇසුවා ය. “ඔබට නොසලකන්නෙම් නො වෙමි. සියලු තුටු පඬුරු දී නිම විය. ඔබ ආවේ බොහෝ පරක්කු වී” යැ යි කියා සිනහ මුහුණින් යුතු ව තමන්ගේ ඇඟිල්ලෙකැ තුබුණ ලක්‍ෂගණනක් අගනා මුද්ද ගලවා ඇය ඇතෙහි තැබුහ.

“මේ ඔබේ මුදුව පලඳින්නට මම් සුදුසු දැ?”යි ඕ ඇසුවාය. “මෙය මා සතු මුද්දෙක. මෙය පිළිගන්නැ”යි කුමාරයාණෝ කීහ. “අපි ඔබ පලඳනා හැරැ ගෙන ඔබ ඇඟිලි හිස් කරන්නට නො කැමැත්තම්හ. අපි ඔබ සුදුසු පලඳනායෙන් සරසන්නම්හ”යි කියා යශෝධරාවෝ ගරුබුහුමන් දක්වා නික්මියාහ.

සිදු වන දෑ රහසින් විපරම් කරමින් සිටි රාජපුරුෂයෝ ශුද්ධෝදන රජහු වෙත ගොස්, “දේවයන් වහන්ස, යශෝධරා කුමාරිකාවෝ කුමාරයන් වහන්සේ ගේ ඇසට ඉලක්ක වූහ. දෙදෙනා අතර මොහොතක් කිසි කතාබහක් දැවී” යැ යි සැළ කළාහ. ශුද්ධෝධන මහරජ එය අසා ප්‍රීත වැ යශෝධරාවන් ගේ පියාණන් වෙතට “ඔබ දුව මා පුත් කුමරාට පාවා දෙන්නැ” යි දූතයකු යැවී ය.

යශෝධරාවන්ගේ පිය රජ ශුද්ධෝදන මහරජුට පිළිතුරු එවනුයේ, “ආර්‍ය්‍යය, ඔබේ පුත් කුමර රජගෙහි ම සිවුමැලි වැ වැඩුණේ ය. සිප් සතර දන්නකුට මිස නො දන්නකුට අපේ කන්‍යාවෝ නො දිය යුතුහ, යන්න අපේ කුල ධර්මයෙකි. ඔබ පුතා කිසිත් නොදනී. කඩු දුනු ආදිය පිළිබඳ වූ ශිල්ප රජකුමරුවන් විසින් උගත යුතුය. ඒ කිසිත් නො දන්නා ඔබ පුතුට කෙසේ මා දුව දෙන්නෙම් දැ?” යි කියා එවී ය. මේ තම පුත්‍රයා සිප් සතර නො දනිතැ යි යන කථාව ඇසු සුදොවුන් රජ “මෙයට කුමක් කරම්දෝ” යි කල්පනාවෙහි ගිලී හුන්නේ ය. කෙසේ හෝ මේ කථාව සිද්‍ධාර්ථ කුමාරයාණට ආරංචි විය. කුමාරයාණෝ පිය රජු වෙත ගොස් “පියාණනි, මේ මුසුප්පුවෙන් ඉඳිනුයේ ඇයි දැ?” යි ඇසූහ. “එය ඔබට වුවමනා නැතැ” යි රජ කීය. කුමරුවාණෝ තුන්වරක් ම ප්‍රශ්න කළහ. එවිට රජ ඇත්ත ම කී ය. “පියාණනි, මා හා ශිල්ප ශාස්ත්‍ර අතින් තරඟ කිරීමට සමතෙක් මිහිපිට නැතැ” යි කුමාරයෝ කීහ. රජ සිනාමුසු මුහුණින් “පුත, ශිල්ප දක්වන්නට ඔබට හැකි දැ?'යි ඇසීය. “හැක්කෙමි, ශිල්ප දන්නවුන් රැස් කරවන්න. මම ශිල්ප දක්වන්නෙමි” යි කුමාරයෝ කීහ.[3]

ශුද්ධෝදන රජ “මෙයින් සත් වන දා සිද්‍ධාර්ථ කුමාරයෝ ශිල්ප දක්වන්නාහ. සියලු ශිල්පඥයෝ කිඹුල්වත් නුවරැ ශිල්ප දක්වන භූමියෙහි රැස්වෙත් වා”යි ඝණ්ඨාඝෝෂණාව කැරැවී ය.

නියමිත දිනයෙහි හැම දෙනාට පළමුවෙන් දේවදත්ත කුමාරයා සරඹ බිම වෙත එන්නට නික්මුණේ ය . බෝසතාණනට සතුටු පඬුරු වශයෙන් ලිච්ඡවී රජයෙන් එවන ලද සුදු ඇත් පැටියා ද ඇත් ගොව්වෝ තරඟ බිම දෙසට ගෙනෙන්නෝ වූ හ. දේවදත්ත තෙම ඌ දැක ඊර්ෂ්‍යාවෙන් මඩනාලද්දේ ඌට වැරයෙන් පහරක් දී ගියේ ය. ඇත් පැටියා එ තැනම මැරී වැටුණේ ය. එහි එන කිසි කෙනෙක් ඇත් කුණ ඉවත් කිරීමෙහි සමත් නො වී ය. මේ අතර සුන්දර නන්ද කුමරු මළ ඇතා දැක. “අහෝ කර ඇති අපරාධයෙක සැටි!”යි කියා ඇත් කුණ පාරෙන් පැත්තකට ඇද දමා නික්ම ගියේ ය. හැම දෙනාට ම පසුව ආ සිද්‍ධාර්ථ කුමාරයෝ ඇතාට වූ දෑ අසා නන්ද කුමරු කළ සැටි සුදුසු යැයි කියා “මෙය මෙතැන කුණු වූ පසු, මුළු පෙදෙසෙහිම දුගඳ පැතිරෙතැ”යි ද කියා එය ඔසොවා නගර ප්‍රාකාරයෙන් පිටතට වීසි කළහ. ඇතු වැටුණ තැන ඇති වූ වළ එදා සිට හස්තිගර්තා නමින් හැඳින්විණ. කුමාරයාණන් කළ දෑ දුටු ජනයා විස්මිත වැ. ප්‍රීතියෙන් උද්ඝෝෂණ කළහ.

ශිල්පඥයන් රැස් වූ පසු තරඟය පැවතිණ. සිදුහත් කුමරුවෝ අක්‍ෂර ශාස්ත්‍ර සංඛ්‍යා ශාස්ත්‍ර ආදී ශාස්ත්‍ර සියල්ලෙහි අන් හැම පරදවා ජය ගත්හ. එයට පසු දිවුම් පැනුම්, කඩු සිප් දුනු සිප් ඈ ශිල්ප සම්බන්ධ තරඟයෙන් ද සිද්‍ධාර්ථ කුමාරයෝ ම අන් හැම අභිභවා සාමර්ථ්‍යය දැක්වූහ.

යශෝධරාවන් ගේ පියා සිදුහත් කුමරුවන් භාෂාශාස්ත්‍ර ශිල්ප විද්‍යා විෂයයන් හි දැක් වූ සාමර්ථ්‍යයෙන් පැහැදුණ ද, ළපැටි වියෙහි කුමාරයන් පිළිබඳ අනාවැකි පැවැසූ නිමිත්ත පාඨකයන් ගේ කථාවන් සිහි කොට, කවරදාක හෝ මෙ කුමරු ගිහි ගෙය හැර දමා පැවිදි වෙතැයි සිය දියණියන් පාවා දීමට මැලි විය. එහෙත් එය පිටතට නො අඟවා යශෝධරාවනට තම අදහස් පිළිගන්වනු පිණිස ඇය ළඟට කැඳවා, “දුව. සිද්‍ධාර්ථ කුමාරයෝ කවරදාක හෝ ගිහි ගෙය හැර තපසට යන්නාහ. අසිතර්ෂි තුමා ද නිමිත්ත පාඨක බමුණන්ද කී මේ අනාවැකිය ප්‍රකට එකෙක. නුඹ ඔවුනට පාවාදුන හොත් වැඩිකල් නොයා දී ම කණවැන්දුම් වෙති. එබැවින් ඔහු හා කාර බන්ධනයට කැමති නොව ව”යි කීය.

“පියාණනි, මා සරණ යතොත් සිද්‍ධාර්ථ කුමාරයන් සමග ම ය. එතුමන් හෙට පැවිදි වතත් එතුමන් කෙරෙහි ම මිස අන් කිසිවකු කෙරෙහි නො වසමි,”යි ඕ තරයේ ම කීවා ය.

සිද්‍ධාර්ථ කුමාරයෝ ද “යශෝධරාවන් ම මිස අන් කිසිම කුමාරියක ආවාහ කොට නොගන්නෙමි” යි කීහ.

මෙසේ ඒ කුමර කුමරියන් ගේ සරණ මඟුල කිසිවකු විසිනුත් වළක්වාලියැ නො හැකි විය. නොබෝ දිනෙකින් මහත් මඟුල් උළෙලින් යශෝධරාවෝ සිද්‍ධාර්ථ කුමාරයාණනට පාවා දෙන ලදහ. ඉක්බිති ශුද්ධෝදන රජ්ජුරුවෝ දෙදෙනාට ම එක් විට කිරුළු පැළැඳවූහ.[4]

සිද්‍ධාර්ථ බෝසතාණන් වහන්සේත් යශෝධරා දේවීන් වහන්සේත් පෙර සිය දහස් ගණන් ජාතීන්හි එකට ඇසුරු කරමින් පැරුම් පිරීමට උනුනට උපකාරී වූහ. එයින් ඇති වූ ස්නේහය නිසා ඔහු එක්වැ විසීමට කැමැත්ත ඇති වැ සිටියත් කාමාසක්ත නො වී සෙනෙහෙබර සහෝදරයකුත් සහෝදරියකත් සෙයින් ඔවුනොවුනට උපකාරී වැ ළැදි වැ කල් යැවූහ. ශුද්ධෝදන රජ ද ප්‍රජාවතී ගෞතමී ද මේ අළුත් රාජ රාජිනී දෙදෙනාට දුක් පිළිබඳ කිසිම හැඟීමක් ඇති නොවන ලෙසට අවශ්‍ය හැම දැයක් ම සැපයූහ.

යශෝධරාවන් රජ ගෙට එන්නට පෙරැ රජ පවුලේ පිරිසට වෙනමත් සේවක සේවිකාවනට වෙනමත් බොජුන් පිළියෙළ කැරිණ. එහෙත් යශෝධරාවෝ එය වෙනස් කොට රජ පවුලට පිළියෙල කැරෙන රාජභෝජනය ම එහි සේවක සේවිකා දාස දාසි හැම දෙනාට ම දෙන්නට සැලැස්වූහ.

එදා රටේ සිරිත අනුව ශුද්ධෝදන රජ ගෙදර ද දාස දාසී නමින් සේවක පිරිසක් සිටියත් ඔහු වහල්ලු නො වූහ. රජ පවුලේ හිත මිතුරන් සේ මහත් රුචියෙන් සේවාව කළෝ වූහ.

රජගෙයි පමණක් නොව මුළු රටෙහි ද හැම දෙනාම යශෝධරාවන් ගේ කරුණා ගුණය කෙරෙහි පැහැදුණාහ. කපිලවාස්තු පුර වැසි සියල්ලෝ යශෝධරාවනට තමන් හැම දෙනා ගේ මවකට මෙන් මහත් ආදර ගෞරව දැක්වූහ.[5]

සිද්‍ධාර්ථ කුමාරයාත් යශෝධරාවත් වසන මාළිගාව ශුද්ධෝදන රජුගේ මෙහෙයීමෙන් නිරතුරු පැවැත්වෙන නෘත්‍යගීතාදියෙන් හැම දා ම මඟුල් ගෙයක සිරි දැරී ය. කොතරම් සිරි සම්පතින් පිරිවැරුණත් සිද්‍ධාර්ථ කුමාරයන් වහන්සේගේත් යශෝධරා දේවීන් වහන්සේගේත් රජගෙහි ජීවිතය උත්සව භූමියක ඉන්නා තපස්වියකුගේත් තපස්විනියකගේත් ජීවිත බඳු විය. ඔහු ලොවැ තතු සලකා බලනුවෝ එළැඹ සිටි සිහියෙන් කල් යැවූහ. “යම්කිසි දවසක ගිහිගෙය හැරැ යෑ යුතු යැ, අනගාරික ජීවිතයක් ගත කළ යුතු යැ” යනු දෙදෙනාගේ ම අදහස විය. තවුසන් මෙන් දිවි ගත කළ ඔවුනට බොහෝ කලක් යන තුරුත් දරුවෙක් නො ලැබිණ. යශෝධරාවන් කුසැ දරුවකු පිළිසිඳ ගත්තේ බෝසතාණනට අටවිසි වැනි හවුරුද්දේ දී ය.[6]

  1. රාජවංශික උසස් නිලතල දරන හැම කෙනෙක් ම රාජ (රජ) නමින් හැඳින් වුණහ. අද ද ඉන්දියාවේ ප්‍රභූවරුනට ඇමතීමේ දී සෙස්සෝ "මහාරාජ්” යන වචනය බැවහර කරති.

  2. නහි කුමාරඃ කුලාර්ථිකො නගොත්‍රාර්ථිකඃ ගුණාර්ථික ඒව කුමාරඃ. (ලලිත විස්තර. පිට 98) බ්‍රාහ්මණිං ක්‍ෂත්‍රියාං කන්‍යං වෛශ්‍යාං ශුද්‍රිං තථෛව ච යස්‍යාඃ එතෙ ගුණාඃ සන්ති තාං මේ කන්‍යා ප්‍රවෙදය, න කුලෙන න ගොත්‍රෙණ කුමාරො මම විස්මිතඃ ගුණ සත්‍යෙව ධර්මෙ ච තත්‍රාස්‍ය රමතෙ මනඃ. ල.වි

  3. මේ පුවත ලලිත විස්තර ආදී මහායාන පොත්හි එන සැටියෙන් මෙහි දැක්වූ මු. පාළි ජාතක අටුවා ආදියෙහි මේ තරම් විස්තර නැත. සිදුහත් කුමරුට යශෝධරාවන් පාවා දුන් පසු ඇයට පිරිවරට කුමරියන් ඉල්ලා යැවූ පසු නෑ රජුන් සිදුහත් කුමරු කිසිත් නොදනිතැයි ප්‍රතික්ෂේප කළ බැවින් ශිල්ප දැක්විණැයි ජාතක අටුවා ආදියෙහි එයි.

  4. මෙය සිදු කරන ලද්දේ සිද්ධාර්ථ කුමරයාණනට සොළොස් වස් පිරුණු තැන දී යැයි පාළි අටුවාහි දැක්වෙතත් සමහර මහායාන පොත්හි දෙවිසිවන වර්ෂයෙහි යැයි කියන ලදී

  5. යශෝධරාවන් පිළිබඳ මේ පුවත නාඩිග්‍රන්ථවල සවිස්තර වැ එයි.

  6. බෝසතාණන් වහන්සේත් යශෝධරාවන් වහන්සේත් බ්‍රහ්මචාරී වැ වුසූහ යි, ද දරුවකු නැතිකමේ පාඩුව කියමින් පියරජුත් කුඩා මෑණියනුත් කරන කන්නලව්ව නිසා බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලෙකින් යශෝධරාවගේ නාභිය පිරිමැද්දාහයි ද එයින් රහල් කුමරු පිළිසිඳගයි ද සමහර ආචාර්යවරුන්ගේ මතය යි. හෙළ දිව විසූ ලක්මිණි පහනේ සංස්කාරක ආභිධර්මික ධර්මරත්න පඬිතුමා මේ මතය දැරුවෙකි.