දවසක බෝසතාණෝ තමන්ගේ කෙළිමඬලෙහි සිට එන්නාහු තමා ඉදිරියෙහි කිසිවක් වැටුණා දැක දිවැ ගොස් බැලූහ. ඒ අත හැන්දෙක ඊයක් ඇනී බිමැ වැටුණු හංසයෙකි. බෝසතාණන් වහන්සේ වහා ම ඊය ගළවා දමා ඌ රැගෙන රජගෙය දෙසට ගියහ. දෙව්දත් කුමරු තමා විද හෙලූ “හංසයා කොහි දැ?” යි සොයා එනුයේ සිදුහත් කුමරුන් අතෙහි ඉඳිනු දැක “ඔය හංසයා මගෙයි, මා ඊයෙන් විද බිම හෙලු එකා”යි කියා ඌ ඉල්ලීය. බෝසතාණෝ ඌ නොදී ම ගෙන ගියහ. උගේ තුවාලයට බෙහෙත් කළහ.
දෙව්දත් කුමරු ගොස් සුදොවුන් රජුට නඩුව පැමිණිලී කෙළේ ය. රජ පුත් කුමරු කැඳවා ප්‍රශ්න කෙළේ ය. තමාට හමු වූ ඒ අසරණ සතා සුවපත් කොට මුදාහරිනු මිස ඌට හිංසා පීඩා කරන්නකුට නොදෙමි” යි බෝසතාණෝ කීහ.
“මතු රටේ පාලනය බාරගන්නට සිටින මේ දරුවන් කුඩා වියේ සිට ම නීතියට අනුව සිටින්නට පුරුදු වියැ යුතු යැ”යි සිතූ රජතුමා “නුඹ නඩුව රාජ සභාවට පැමිණිලි කරන්න” යි දෙව්දත් කුමරුට කී ය. හේ එසේ පැමිණිලි කෙළේ ය. රජතුමා රාජ සභාව කැඳවා “මේ මා පුතාත් බෑනණුවනුත් අතර නැංග ආරවුල විසඳා තීන්දුව දෙන්නැ”යි නියෝග කෙළේ ය.
රාජ සභාව රැස්විය. කුමරුවන් දෙදෙනා ම කැඳවා නඩුව විනිශ්චය කෙළේ ය. “දෙව්දත් කුමරුවාණන් විසින් විද බිමැ හෙලූ බැවින් ඒ හංසයා ඒ කුමරුනට ම අයිති ය. එ බැවින් දෙව්දත් කුමරුනට හංසයා බාර දිය යුතු යැ”යි එක්කෙනෙකු හැර අනිත් සියලු සහාසදයෝ තීන්දු කළහ. එවිට සිද්‍ධාර්ථ කුමාරයෝ නැඟී සිට. අහසේ නිදහසේ පියාහඹා ඇවිදින කිසිදු පක්‍ෂියෙක් මිනිසුනට අයත් නැත. උන් පෙළීමට ද කිසිවෙකුට අයිතියෙක් නැත. එ බැවින් උන් පිළිබඳ අයිතිකම් පැවැසීම වියරුවෙකැ’යි පවසා “ජීවියකු අයත්වතොත් අයත් වනුයේ උගේ දිවි නසන්නාට ද? නැත හොත් දිවි රකින්නාට දැ?” යි ප්‍රශ්න කළහ. බෝසතාණන් ඉදිරිපත් කළ යුක්තිය ඇසු සභාව ගොළු විය. මද වේලාවකින් පසු එක් මහළු සහාසදයෙක් නැගිට “ජීවියකු අයත් වන්නේ උගේ ජීවිතය රකින්නාට මිස නසන්නාට නොවේ යැ” යි කීය. කාටත් කාරණය අවබෝධ විය. “හංසයා දිවි ඇති බැවින් සිදුහත් කුමරුනට අයත් යැ”යි සියල්ලන් ගේ තීන්දුව විය. නඩුවෙන් පැරැදුණු දෙව්දත් කුමරු කෝපයෙනුත් ලජ්ජාවෙනුත් සභා ශාලායෙන් බැස තමා ගේ නිවාසය කරා ගියේ ය. බෝසතාණෝ ද නික්ම ගිය හ. කීප දිනක් සාත්තු කොට, සුවපත් වූ හංසයා මුදාහැරියා හ.