“සතර වරම් දෙව් රජුහු අවුත් බිසොව, හොත් යහන දේවින් ගේ පිටින් ම ඔසොවා ගෙන ගොස් හිමාලය පර්වතයේ සිරියල් ගල් තලාවෙක මහ සල් රුකක් මුල තබා පසකට වී සිටියාහ. එවිට ම ඔවුන් ගේ දේවීහු එහි අවුත් මහාමායා දේවීන් අනෝතත්ත විලට කැඳවාගෙන ගොස් නාවා දිව සළු හඳවා දිව සුවඳ විලෙවුන් ගල්වා දිව මල් පලඳවා සමීපයේ රිදී පර්වතයෙක වූ රන් පහයකට ගෙන ගියා හ. එහි බටහිර දෙසට සිරස ලා සැතපෙන ලෙසට යහනක් පණවා ඇය එහි සැතැපවූහ. මේ අතර දැකුම්කලු සුරතල් සුදු ඇත් පැටියෙක් සමීපයේ වූ රන් පව්වෙහි හැවිද එයින් බැස රිදී පව්වට නැඟ හැවිදිනුයේ උතුරු පැත්තෙන් අවුත් සොඬින් සුදු පියුමක් ගෙන දේවීන් සැතපෙන රන් විමනට වැදුණේ ය. එයින් පසු ඇය සැතැපෙන යහන වටා තුන් වරක් හැවිද ඇගේ දකුණැලයට ළං වීය. ඉක්බිති ඇය කුසට පිවිසියාක් මෙන් විය.3
මෙ ස්වප්නයෙහි ඇත් පැටියා ඇය කුස පිවිසියා සේ දැනුණේ මහ බෝසතාණන් තුසී දෙලොවින් සැව දේවීන් කුස පිළිසිඳ ගත් වේලෙහි ය.4
පසු දා උදාසන දේවී තොමෝ රජු කරා ගොස් තමා දුටු සීනය පැවසුවා ය. රජ තෙම වේදවේදාංගයන්හි සමත් බමුණු පඬිවරුන් සූ සැටක් කැඳවා ආහාර පානාදියෙන් සංග්‍රහ කොට, ඉක්බිති බිසොව දුටු සීනය දන්වා “එය කුමක් නිසා පෙනුණු එකක් දැ?” යි විචාළේ ය. ඔහු එය ගැන සාකච්ඡාකොට කියන්නාහු. “මහරජාණනි, ඔබ ගේ දේවිය කුසැ දරුවෙක් පිළිසිඳගෙන ඇත. හේ පුතෙකි. හේ සක්විති රජක්හු වන්නට හෝ ලොවුතුරා බුදු වන්නට හැකි මහ පිනැත්තෙකි”යි පැවසූහ. මව කුසැ පිළිසිඳගත් මහ බෝසතාණෝ සුවසේ වැඩුණාහ. මෑණියෝ කිසිදු රෝගාදී පීඩාවකින් නොපෙළී සුව සේ කල් යැව්වාය.” 5