දරු ගබට දස මස පිරෙන්නට ළං විය. දේවී මාපියන් වෙතට දෙව්දහ නුවරට යන්නට අදහස් කොට ඒ බව සුදොවුන් රජුට දැන් වූවා ය. දෙව්දහ නුවරට වැඩි දුරෙක් නැත. කපිලවාස්තුව රෝහිණී නදියෙන් මෙ ගොඩ ය. එගොඩැ ලුම්බිනී උයනට ටිකක් එපිටින් දෙව්දහ නුවර පිහිටියේ ය.
සුදොවුන් මහ රජතුමා “එන පසොළොසවක් දා මහාමායා දේවීන් එහි එතැ” යි දන්වා අංජන රජු වෙතට දූතයෙකු යැවී ය. යන මග දිගට ම සැරැසැවී ය. නියමිත දිනයෙහි දේවිය රන්සිවි ගෙයක නංවා ක්ෂත්‍රිය කාන්තාවන් පිරිවර කොට දී ඇමැතියන් ගේ රකවරණ ඇති කොට මහ පෙරහැරින් දෙව්දහ පුර කරා යැවී ය. මෙසේ ගමන් ගත් පිරිස රෝහිණී නදිය ද තරණය කොට යන්නාහු ලුම්බිනී උයන සමීපයට පැමිණියහ. දෙව්දහ පුරයෙන් ද දේවීන් පිළිගැනීමට මහත් නැදෑ පිරිසෙක් ලුම්බිනිය වෙත අවුත් පොරොත්තු වැ සිටියා හ.
මෙ දවසැ ලූම්බිනී උයන මල් පල බරින් බර වූ වෘක්ෂලතාවන් ගෙන් ශෝභාසම්පන්න වූයේ අතිසයින් බැබැළිණ. එහෙ මෙහෙ පියාසර කරන තැන තැන රැව් පිළිරැව් දෙන ගිරා මොනර ආදි පක්ෂීන් ගේ හඬින් ද මල් රොන් ගනිමින් හැසිරෙන බඹරුන්ගේ ගුමු ගුමු හඬින් ද උයන් පෙදෙස ඒකනින්නාද විය. සුගන්ධ මන්දමාරුතයෙන් මුළු පෙදෙස ම සුගන්ධිත වූයේ ඉතා රම්‍ය විය.
සමීප මාර්ගයෙන් යන පෙරහැර දෙව්දහ නුවරින් ආ නෑදෑ පිරිස විසින් පිළිගැනිණ. මේ අතර ම මහාමායා දේවී උයන් සිරි දැක එහි යන්නට කැමැත්ත පළ කළා ය. ඇය කැටුව ම පෙරහැර ලුම්බිනී උයනට පිවිසියේ ය. මහාමායා දේවී රන්සිවි ගෙයින් බැස සිය නැඟැණියන් ආදි ක්ෂත්‍රියාවන් හා සෙසු සේවක සේවිකාවන් හා උයන් සිරි බලා හැවිදිනී මුලසිට අග දක්වා මලින් සැදුණු මඟුල් සල් රුක6 දැක එහි ගියා ය. අත්තක් අල්ලා ගනු කැමැත්තී දකුණත දිගු කළාය. සල් අත්ත නැමිණ. එය අල්ලා ගත්තී ය.