දඹදිවැ හැම පෙදෙසෙක ම හවුරුද්දකට වරක් ඇසළ මසැ පැවැත්වෙන මහෝත්සවයෙකි. ඉහත කී පරිදි බෝසතාණන් දෙව්ලොවින් ච්‍යුතවන්නට සතියක් තිබියැ දී ද මේ උළෙල ඇරැඹිණ.
මේ උළෙල පැවැත්වෙන සමයෙහි හැම දෙනා ම පහන්දොර නැඟීසිට ඉස් සෝදා නා මනා ලෙස හැඳ පැළඳ සැරැසී උත්සවයෙහි යෙදෙති. ශුද්ධෝදන මහරජාණෝ ද ඉස් සෝදා නා මිහිරි රජ බොජුන් වළඳා සිහසුන් අරා ඇමැති මඬුල්ල පිරිවර කොට ගෙන සිරි සැපත් විඳිති. රජ පවුලේ හැම දෙනා ද නොයෙක් ලෙසින් කෙළිදෙළෙන් කල් යවති. රට වැසියෝ මුළු රට ම එක් මැ මඟුල් ගෙයක සිරි ගන්වති. මෙසේ දින සයෙක් ගත විය. පළමු සදිනෙහි නකත්කෙළි සුවින් කල් ගෙවූ මහාමායා ගෞතමී තොමෝ2 සත්වන දා පහන්දොරින් මැ නැඟී සිට ඉස් සෝදා නා වෙන දා සේම රජ ගෙදරට රැස් වැ සිටි දුගී මගී යාචකාදීනට ආහාරපාන වස්ත්‍රාදියෙන් සංග්‍රහ කොට යැවූවා ය. ඉක්බිති තොමෝ සිය නැඟෙණියන් වූ ප්‍රජාවතී ගෞතමිය ද රජගෙහි වෙසෙන සෙසු කාන්තාවන් ද සමග බොජුන් වළඳා එයට පසු සහ පිරිවරින් රජුගේ උයනෙහි වෙසෙන අසිත දේවල සෘෂීන් වෙත එළැඹියා ය. වැඳපුදා ඔබ වෙතින් පෙහෙවස් සමාදන් වූවා ය. එයින් පසු සිය පහයට අවුත් ධර්මසංවාදයෙන් ද මෛත්‍රීභාවනාදියෙන් ද මුළු දහවල ගෙව්වා ය. රෑ නිදන කාලය පැමිණියෙන් සිරියහනැ සැතැපී තමා වැඩු ගුණ දහම් මෙනෙහි කෙරෙමින් මැ නින්දට බටුවා ය. මෙසේ නිදාගත් දේවී තොමෝ පශ්චිම යාමයෙහි පුදුම සිහිනයක් දුටුවා ය.