දේවායාචනය

star_outline

අප මහ බෝසතාණන් වහන්සේ වෙස්සන්තර අත් බැවින් සැව තුෂිත භවනයෙහි ඉපිදැ සන්තුෂිත (හෙවත් ශ්වේතකේතු) නමින් ප්‍රකට වැ වසන සේක. මේ අතරැ උන්වහන්සේට මිනිස් ලොවැ උපදනට හවුරුදු දහසක් තිබියැ දී, උඩැ කී පරිදි බුද්‍ධ කෝලාහල රාවය දෙව් මිනිස් බඹ යන තුන් ලොව්හි පැතිරිණ. එයින් බොහෝ දෙව් බඹුහු “ලොවුතුරා බුදු වන මහතාණෝ කොහි දැ?” යි සොයා බැලීමෙහි උත්සුක වූහ. ඔහු තුෂිත දිව්‍යලෝකයෙහි වැඩවසන මහබෝසතාණන් දැන හැඳින ගත්හ. යට කියන ලද හවුරුදු දහස පිරෙන්නට ළං වැ තිබිය දී ඔහු තුසීපුරැ බෝසතාණන්වෙත රැස්ව වැඳ ගරුබුහුමන් දක්වා, “නිදුකාණනි, දැන් ඔබට බුදුවනු පිණිස මිනිස් මවු කුසයෙක උපදනට කාලය පැමිණියේ යැ” යි සැළ කළාහ.

මහ බෝසතාණන් වහන්සේ ඔවුනට එක් වරම ප්‍රතිඥාවක් නොදී නිහඬ වැ විමසන්නාහු. “කාල, දේශ, ද්වීප, කුල, මාතෘ” යනු කරුණු පස සම්පූර්ණ වැ ඇත් දැ”යි දිවැස යොමා බැලූහ.

හවුරුදු ලක්ෂයට වඩා පරමායුෂ ඇති සමයෙහි මිනිස්නට ආයු දික් බැවින් ලෙඩ රෝග නැති බැවින්, දුබික් ආදී දුක් නැති බැවින්. අනිත්‍යතාව දුඃඛතාව අනාත්මතාව පිළිගැන්වීම අසීරු වෙයි. පරමායුෂ හවුරුදු සියයට අඩු වැ ගිය සමයෙහි රාග ද්වේෂ ආදි කෙලෙස් බහුල වන බැවින් අවවාදයට නො නැමෙති. ඔවුනට කරන අවවාද දියෙහි ඇඳි ඉරි සෙයින් වහා මැකීයෙයි. එ බැවින් පරමායුෂ හවුරුදු ලක්ෂයටත් සියයටත් අතර කාලය ම බුදුවරුන් පහළ වන කාල සීමා ව යැ. මෙය විමසා බලන බෝසතාණන් වහන්සේ “දැන් මිනිසුන්ගේ පරමායුෂ සියය ය. එබැවින් මිනිස් ලොවැ උපදනට සුදුසු කාලයැ”යි දුටුහ.

ඊළඟට කවර මහද්වීයක ඉපැදියැ යුතු දැ?යි කවර පෙදෙසක ඉපැදි යැ යුතු දැ?යි බලන සේක්, දඹදිව් හි ගුණවතුන් පිරි සරුසාර වූ මධ්‍ය දේශය උපදනට යෝග්‍ය ම රට යැයි දුටුහ.

රටේ කවුරුනුත් “උසස් යැ”යි පිළිගත් කුලයෙකැ (-පවුලෙකැ) ඉපැද එහි සියලු යස ඉසුරු හැරදමා චාම් දිවි පෙවෙතට බැස ජාතිභේදාදියට විරුද්ධ ව ද කම් සුවෙහි ගැලීමට විරුද්ධ වැ ද කරන දේශනාව හැම දෙනාගේ සිත් හි තදින් කා වැදෙයි. එවැන්නහුගේ චාම් ජීවිතය උසස් මැදුම් පහත් යන හැම තරාතිරමේ ම අයට මහත් ම ආදර්ශය වෙයි. එසේ කුලයේ සේ ම උසස් වූ පිරිසිදු චරිතයක් ඇති ගුණවත් පියකු ගේ දරුවකු වීම ද ලෝ වැඩ කරන්නට ඉදිරිපත් වන්නහුට අවශ්‍ය දැයෙකි. එබැවින් මේ දෙ කරුණ ම විමසා බලනසේක්, එදා දඹදිව හැම දෙනා විසින් උසස් මැ යැ යි ගෞරවයෙන් සලකන ලද ශාක්‍ය වංශය ද දඹදිව අන් රටවල රජුනට වඩා සැප සම්පතින් ආඪ්‍ය වූ ශාක්‍ය වංශිකයන්ගේ පාලක ශුද්ධෝදන මහ රජු ද දුටු සේක. ඊළඟට මව වීමට සුදුසු තැනැත්තියක් ඇත් දැ?යි විමසනුවෝ මුළු ලෝවැස්සාට ම මවක බඳු කරුණා ගුණ සම්පන්න, සිල්වත්, පිරිසිදු පැවැතුම් ඇති මහාමායා ගෞතමී දේවීන් දුටුහ.

බෝසතාණන් වහන්සේ මෙසේ කාල දේශාදි අවශ්‍ය කරුණු පහ ම සම්පූර්ණ වැ තිබෙනු දැක, “කල් නොයාදී ම මිනිස් ලොවැ උපදිමි” යි වදාරා දෙව් බඹ පිරිස පිටත් කළ ස්ක. ඉක්බිති මවු වන මහාමායා ගෞතමීන්ගේ ආයුෂ කාල සීමාව විමසා බලා, ඇයට ආයුෂය තව දසමසකුත් සත් දිනක් ඉතිරි වැ තිබියැ දී දෙව්ලොවින් ච්‍යුත වන්නට ඉටා ගත් සේක. මෙසේ නියම කැරැගත් අවස්ථාව පැමිණි සෙමෙහි පිරිවර දෙවියන් කැටුවැ තුසී පුරැ වූ නන්දන වනයට[1] වැඩියහ. එහි පිරිවර දෙවියන් විසින්, “නිදුකාණන් වහන්ස, මෙයින් සුගතියට - මිනිස් ලොවට වඩින්නැ, බුදු වැ ලොකාර්ථචර්යාවෙහි යෙදෙන්නැ”යි කියනු ලබන ආශිර්වාදාත්මක ප්‍රිය කථාව අසන සේක් ම “දැන් මෙයින් ච්‍යුත වෙමි” යි අධිෂ්ඨාන කළ සේක.

  1. හැම දෙව්ලොවෙක ම නන්දන නම් උයනෙක් ඇත.