තුන් කෝලාහල

කල්ප කෝලාහලය. බුද්‍ධ කෝලාහලය, චක්‍රවර්ති කෝලාහල යැයි ලොවැ කෝලාහල (මහා උද්ඝෝෂණ) තුනෙකි. කල්ප විනාශයට හවුරුදු සිය දහසක් තිබියැදී කිසි කාමාවචර දෙවි කෙනෙක් මිනිස් වෙස් ගෙන විසුළ කෙහෙ ඇති වැ රත්පැහැ වස්ත්‍ර හැඳ පෙරවැ අතින් කඳුළු පිසිමින් හැඬූ මුහුණින් “භවත්නි, මෙයින් හවුරුදු සිය දහසක් ගිය තැන ලොව වැනැසෙයි. බඹලොවැ තෙක් ම ලෝකය වැනැසී යන්නේ ය. එබැවින් මෛත්‍රී වඩවු කරුණාව වඩවු, මුදිතාව වඩවු, උපේක්ෂාව වඩවු, මා පියනට උවටන් කරවු. පවුලේ වැඩිහිටියනට ගරු බුහුමන් කරවු, පස් පවින් දස අකුසලින් වළකිවු” යන ආදීන් අවවාද කරන්නාහු ලොව පුරා හැවිදිති. මේ කල්ප කෝලාහල නමි.

ලොවුතුරා බුදු කෙනෙකු ලොව පහළ වන්නට හවුරුදු දහසක් තිබියැදී ලෝකපාලක දෙවිවරු මිනිස් වෙස් ගෙන මිනිස් ලොව පුරා හැවිදින්නාහු “භවත්නි, මෙයින් හවුරුදු දහසක් ගිය තැන සර්වඥ බුදු කෙනෙක් පහළ වන්නාහ. උන් වහන්සේ දක්නා කැමැත්තෝ අකුසලින් වැළකී කුසල් දහම් පුරත් වා” යි උද්ඝෝෂණ කෙරෙති. මේ බුද්‍ධ කෝලාහල නම් වෙයි.

චක්‍රවර්ති රජහු පහළ වන්නට හවුරුදු සියයක් තිබිය දී කාමාවචර දේවතා කෙනෙක් මිනිස් වෙස් ගෙන ලොව පුරා හැවිදින්නාහු “භවත්නි, තව හවුරුදු සියයක් ගිය තැන සක්විති රජෙක් ලොවැ පහළ වන්නේ ය. මුළු පොළොව එක ම රජයකට යටත් කොට, සියලු වාද භේද නැති කොට. මිනිස්නට ද සිවුපා පක්ෂි ආදී තිරිසන් සත් කැලට ද හැම සැටියෙන් සුව පහසු සලස්වා, සියලු දෙනාට සැනැසුම් ඇති කොට, දැහැමෙන් සෙමෙන් රජය කරවන්නේ ය. ඔබ දක්නට කැමැත්තෝ අකුසලින් වැළැක කුසල් කෙරෙත්වා” යි උද්ඝෝෂණය කෙරෙති. මේ චක්‍රවර්ති කෝලාහල නම් වෙයි.