මෙ සේ චාරිකා චරණයට හේතුව කිමෙක්ද? යත් : දුප්පතු ද, බාලයෝ ද, මහලු වූවෝ ද, රෝගාතුරයෝ ද, භාග්‍යවතුන් වහන්සේ දැකීමට පැමිණීමෙහි නො හැක්කෝ ඇත්හ. එහෙත් බුදු රජාණන් වහන්සේ ඔවුන් වෙතට පැමිණි විට, ඔහු වැඳුම් පිදුම් කොට පින් සිදු කර ගනිත්. බණ අසා ස්වර්ග මාර්ගයෙහි හෝ මොක්ෂ මාර්ගයෙහි පිහිටත්. මේ ආදී කරුණු සලකා ලෝකානුකම්පායෙන් චාරිකායෙහි යෙදෙන සේක.
චාරිකා ගමනට තවත් හේතු
එක් තැනෙහි ම ඉඳීමට වඩා ඇවිදීමෙන් ශරීර පහසුව ලැබෙන හෙයින් ද, ධර්ම දේශනා කිරීමට යම් කාරණයක් මුල් කර ගැනීමට එ බන්දක් හමු වන පිණිස ද භික්ෂූනට ශික්ෂා පද පැණවීම පිණිස ද, ඒ ඒ ගම් නියම් ගම් නුවර ආදියෙහි නුවණ මේරූ පුද්ගලයනට චතුස්සත්‍යය අවබෝධ කරවනු පිණිස ද යන සතර කාරණයෙන් ද,
බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා සරණ ගැන්වීම, මහත් වූ ධර්ම වැස්සෙන් සිවු පිරිස සනසාලීම යන සතර කාරණයෙන්ද,
සත්ත්වයන් ප්‍රාණඝාතයෙන් මුදාලීම, අදත්තාදානයෙන් මුදාලීම, කාම මිථ්‍යාචාරයෙන් මුදාලීම, මුසාවාදයෙන් මුදාලීම, රහමෙර පානයෙන් මුදා ලීම යන කරුණු පසින් ද,
ලෝකයා තමන් වහන්සේගෙන් බණ අසා පිළිපැද, ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ත්ථ ධ්‍යාන, ආකාශානත්තායතන ධ්‍යාන, විඥානානන්තායතන ධ්‍යාන, ආකිඤ්චන්‍යායතන ධ්‍යාන, නෛවසංඥානාසංඥායතන ධ්‍යාන යන අෂ්ට ධ්‍යාන සමාපත්තීන් ලබන බව සලකා ද,
මහජනයා තමන් වහන්සේ ගෙන් බණ අසා විදසුන් වඩා ශ්‍රෝත ආපත්ති මාර්ග, ශ්‍රෝත ආපත්ති ඵල, සකෘදාගාමී මාර්ග, සකෘදාගාමී ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අර්හත්ව මාර්ග, අර්හත්ව ඵල යන මොවුන් ප්‍රතිවේධ කරතැ යි දැන ඒ අභිවෘද්‍ධිය සලසන අටියෙන් ද සැරි සරන සේක.
අතුරිත චාරිකා ප්‍රභේද
අතුරිත චාරිකාව වනාහි නිබද්ධ චාරිකා (නිබඳ හැසිරීම) අනිබද්ධ චාරිකා (නො නිබඳ හැසිරීම) යැ යි විවිධ යි. කෙනෙකු නියම කොට නො ගෙන ගම් නියම් පිළිවෙළින් හැසිරීම අනිබද්ධ චාරිකා නමි. ධර්මාවබෝධයට තරම් නුවණ මේරූ කෙනෙකු හමුවීම ම සලකා ඔහු කරා වැඩීම නිබද්ධ චාරිකා නමි.