අතුරිත චාරිකා

ගම් නියම් පිළිවෙළින් දින පතා යොත්ත ආදී වශයෙන් පිඬු පිණිස හැසිරීම් ආදියෙන් ලෝකානුග්‍රහය කෙරෙමින් වඩනා ගමන අතුරිත චාරිකා (නො යුහු සුලු ගමන) නමි. මෙම අතුරිත චාරිකායෙහි යෙදුණ භාග්‍යවතුන් වහන්සේ දඹදිව මහා මණ්ඩල මධ්‍ය මණ්ඩල අන්තර්මණ්ඩල යන ප්‍රදේශ තුනෙන් එකෙක වඩනා සේක. ඉන් මහා මණ්ඩලය යොදුන් ස සියක් පමණ විශාල වේ. අන්තර්මණ්ඩලය යොදුන් තෙ සියක් පමණ වේ.

යම් කලෙක මහා මණ්ඩලයෙහි වඩනා කැමැති සේක් නම් මහා පවාරණයෙන් පවරා පෑලවිය දවසෙහි මහත් භික්ෂු සමූහයා පිරිවර කොට පිටත් වන සේක. බුදු රජාණන් වහන්සේ මහාමණ්ඩලයෙහි ගමන ආරම්භ කළ බව ඉක්මනින් ම රටේ ආරංචි වීමෙන් යොදුන් සියයක් තරම් ඈත මිනිසුන් තුළ උන් වහන්සේ දැක්මට දන් දීමට බණ ඇසීම් ආදියට මහත් උනන්දුවක් ඇති වන්නේ ය. බුදු රජාණන් වහන්සේ ගේ පැමිණීම කවර දා වේ දෝ යි ඔහු නිතර උන් වහන්සේ පිළිගැන්මට සැරසී සිටිත්. අන්‍ය ලබ්ධික පරිව්‍රාජකාදීහු අපගේ භක්තිමත්හු බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පිළිගනිත් දෝ”යි කැලැඹීමට පත් වෙත්. සම්‍යග්දෘෂ්ටිකයෝ භාග්‍යවතුන් වහන්සේ පිළිගැනීමට පෙර ගමන් කරත්. අනිත් අන්තර්මණ්ඩල මධ්‍ය මණ්ඩල දෙක්හි ම කැරෙන සත්කාර රාශිය මහාමණ්ඩලයෙහි ම එක් තන් වේ. භාග්‍යවතුන් වහන්සේ එහි ගම් නියම් ගම් ආදියේ දවස් දෙක තුන ආදී වශයෙන් මහජනයා ගේ ආමිස පූජා පිළිගෙන, ඔවුනට අනුග්‍රහ කෙරෙමින්, ධර්ම දානය කිරීමෙන් ස්වර්ග මාර්ග මෝක්ෂ මාර්ග දෙක්හි ඔවුන් පිහිටුවමින් සැරි සරන සේක්, ඒ ගමන නව මසෙකින් අවසන් කරන සේක. ඉදින් වස් කාලය තුළ දී භික්ෂූන්ගේ ශමථ විදර්ශනා නො මේරුයේ නම් මහාපවාරණය නො කොට පවාරණ සංග්‍රහය දී, ඉල් පුර පසළොස්වක් දා පවාරණය කොට, උඳුවප් පෑලවිය දා මහා භික්ෂු පිරිස හා මධ්‍ය මණ්ඩලයට වඩින්නට පිටත්වන සේක. එ ගමන අට මසෙකින් අවසන් වේ. ඒ ගමන් කාලයේ දී අන් මණ්ඩල දෙකේ ම සත්කාර සම්මාන රාශිය මධ්‍ය මණ්ඩලයෙහි ම එක් තැන් වේ. වස් සාර මසේ දීත් භික්ෂූන් ගේ කර්මස්ථාන භාවනා නො මුහු කෙළේ නම් තවත් මසක් දෙ මසක් හෝ තුන් හාර මසක් එහි ම වැස පෙර පරිද්දෙන් ම භික්ෂු සංඝයා සහිත වැ අන්තර් මණ්ඩලයෙහි ගමනට පිටත් වන සේක. අන් දෙ මඬුල්ලෙහි පූජා සත්කාර අන්තර් මණ්ඩලයෙහි ම රැස් වේ. භාග්‍යවතුන් වහන්සේත් පළමු පරිද්දෙන් ලෝකානුග්‍රහය කරමින් සත් මසෙකින් පස් මසකින් හෝ සිවු මසෙකින් චාරිකා ගමන අවසන් කරන සේක.