තුරිත චාරිකා

තුරිත චාරිකා අතුරිත චාරිකා යැ යි බුදුරජාණන් වහන්සේ ගේ ගමන් දෙකෙකි. ධර්මාවබෝධයට තරම් මේරූ නුවණ ඇති පුද්ගලයකු ඉතා ඈත වසන්නහු දැක ඔහුට දම් දෙසීම පිණිස සෘද්‍ධි බලයෙන් ඉක්මනින් යෑම තුරිත චාරිකා (ඉක්මන් ගමන) නම් වේ. භාග්‍යවතුන් වහන්සේ පිප්පලි මානවකයා හමු වීමට තුන් ගවු පමණ මාර්ගය එක් මොහොතෙකින් ම ඉක්ම වැඩි සේක. ආළවක යකු හික්මවීම් ආදිය පිණිස තිස් යොදුන් මාර්ගය ද, අංගුලිමාල සොරහු හික්මවීමටත් එ පමණ ම දුර ද, පුක්කුසාති රජු හමුවීමට යොදුන් පන් සාළිසක් පමණ දුර ද, මහාකප්පින රජු සඳහා යොදුන් එක්සිය විස්සක් පමණ දුර ද, ධනිය ගෝපාලයා හමුවීමට යොදුන් සත් සියයක් තරම් ඈත ද, වනවාසී තිස්ස සාමණේරයන් වහන්සේ දැකීමට යොදුන් එක්සිය තෙ විස්සක් දුර ද මොහොතකින් වැඩි සේක. මෙ සේ පියෙවි ගමනින් නො වැඩ සෘද්‍ධි බලයෙන් ඉතා ඈත ස්ථානයකට වැඩීම තුරිත චාරිකා නමි.