මහා පරිනිර්වාණය

ජන්මයෙන් අසූවන වියෙහි වෙසක් පසොළොවක් දා

මින් පසු ප්‍රථම ධ්‍යානයට සමවන් සේක. ඉක්බිති ඉන් නැඟිට ද්විතීය ධ්‍යානයටද, ඉන් නැගිට තෘතීය ධ්‍යානයට ද, ඉන් නැඟිට චතුර්ථ ධ්‍යානයට ද, ඉන් නැඟිට ආකාශානන්තායතන සමාපත්තියට ද, ඉන් නැඟිට විඥානානන්තායතන සමවතට ද, ඉන් නැඟිට ආකිඤ්චන්‍යායතන සමාපත්තියට ද, ඉන් නැඟිට නෛවසංඥානාසංඥායතන සමාපත්තියට ද, එයින් නැඟිට නිරෝධ සමාපත්තියට ද සමවන් සේක. යලිත් නිරෝධ සමාපත්තියෙන් නැගිට නෛවසංඥානාසංඥායතන ආකිඤ්චන්‍යායතන විඥානානන්තායතන ආකාශානන්තායතන චතුර්ථධ්‍යාන තෘතීය ධ්‍යාන ද්විතීය ධ්‍යාන ප්‍රථම ධ්‍යානය යන මේවාට ද පිළිවෙළින් ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යානයට ද සමවැද චතුර්ථ ධ්‍යානයෙන් නැගී සිටි සේක.

එ දා අලුයම්හි අරුණෝද්ගමනයට පෙරටු ව චතුර්ථ ධ්‍යානයෙන් නැඟී සිට අනතුරු ව, ඒ මහාකාරුණික වූ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධ අංගීරස ශාන්ති නායකයන් වහන්සේ සියලු සංස්කාර ධර්මයන් ගේ අනිත්‍යතාවට තමන් වහන්සේ ද ආදර්ශ කෙරෙමින් නිරුපාදිශේෂ පරිනිර්වාණ ධාතුයෙන් පිරිනිවන් පා වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කෙණෙහි භය ජනක වූ මහද් භූමි කම්පාවෙක් විය. බලවත් වූ අහස් ගිගුරුම් ද විය.

බුද්‍ධ පරිනිර්වාණ ක්ෂණයෙහි ම සහම්පතී මහ බඹ තෙම “ලොවැ මෙ වැනි අප්‍රතිපුද්ගල වූ මේ ජගදාචාර්‍ය්‍යන් වහන්සේ යම් සේ පිරිනිවන් පෑ සේක් ද, එ සේ ම ලෝක ධාතුවේ සියලු ම සත්ත්වයෝ ජීවිතේන්ද්‍රිය විනාශයෙන් සිය සිරුරු මෙහි බහා ලන්නෝ යැ” [1]* යි ද,

ශක්‍ර දේවේන්ද්‍ර තෙම:

“අහෝ සංස්කාරයෝ අනිත්‍යයහ. හැදෙන නැසෙන සුලුහ. ඔහු ඉපිද නිරුද්ධ වෙත්. එ බැවින් ඔවුන්ගේ සංසිඳීම සැප වේ” [2] යැ යි.

අනුරුද්ධ තෙරුණුවෝ:

“ආයුෂ්මත්නි, ස්ථිර සිත් ඇති, අට ලෝ දහමින් කම්පිත නො වන ස්වභාවය ඇති, නිවන් සෙත් පුර අරමුණු කොට කළුරිය කළ මාගේ ශාස්තෘ වූ බුද්‍ධ මුනිවරයාණන් වහන්සේ ගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වූහ. නො හැකුළුණු (පිබිදි) සිතින් ඒ ස්වාමි දරුවන් වහන්සේ වේදනාව ඉවසූ සේක. ප්‍රදීපයෙක නිවීමක් සේ ඒ ස්වාමි දරුවන් වහන්සේ ගේ චිත්ත විමෝක්ෂය [3] වී යැ යි ද,

අනඳ තෙරුණුවෝ:

[4]** “සකල උත්තම ගුණයෙන් සමන්විත සම්බුද්ධයන් වහන්සේ ගේ පිරිනිවන් පෑම හා එක් විට ම බිහිසුණු ලොමු දහ ගන්වන සුලු භූමිචලනයෙක් වී ය. අහෝ ! ආශ්චර්යයෙකි !!” යි ද වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී කෙණෙහි අවීතරාග භික්ෂූහු හැඬීමට වැලැපීමට පටන් ගත්හ. වීතරාග භික්ෂූහු අනිත්‍යතාව සලකමින් ඉවැසූහ. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ හඬන භික්ෂූනට සංස්කාරයන් ගේ අනිත්‍යතාව ප්‍රකාශ කොට, හැඬීමෙන් ශෝක කිරීමෙන් කම් නැතැ යි අවවාද කළ සේක. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ ඉක්බිති, ඉතිරි කාලය අනුරුද්ධ තෙරණුවෝ ද අනඳ තෙරණුවෝ ද ධර්ම කථායෙන් ගත කළහ.

  1. * සබ්බෙ’ව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං

    යථා එතාදිසො සත්ථා ලොකෙ අප්පටිපුග්ගලො.

  2. අනිච්චා වත සංඛාරා, උප්පාදවයධම්මිනො

    උප්පජ්ජිත්වා නිරුක්ධන්ති, තෙසං වූපසමො සුඛො.

  3. නාහු අස්සාසපස්සාසා, ඨිත චිත්තස්ස තාදිනො

    අනෙජො සන්තිමාරබ්භ යං කාලමකරි මුනි.

    අසල්ලිනෙන චිත්තෙන, වෙදනං අජ්ඣවාසයි

    පජ්ජොතස්සෙව නිබ්බාණං, විමොක්ඛො චෙතසො අහු.

  4. ** තදා’ සි යං හිංසනකං තදාසි ලෝමහංසනං

    සබ්බාකාරවරූපෙතෙ, සම්බුද්ධෙ පරිනිබ්බුතෙ.