සර්වඥ දේහය ආදාහන කිරීම

පාන් වූ කල අනඳ තෙරණුවෝ අනුරුද්‍ධ තෙරුන් ගේ නියමයෙන් කුසිනාරා පුර වැඩ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව දැන්වූහ. මල්ල රජුන් ප්‍රමුඛ කොට ඇති නගර වාසීහු ඒ පවත් අසා හඬා වැලැප ආදාහන කෘත්‍යයට වුවමනා සියලු උපකරණ ගෙන්වා ගෙන උපවර්තන ශාලාවනෝද්‍යානයට රැස් වැ බුද්‍ධ ශරීරයට නෘත්‍ය ගීතාදියෙන් පූජා කරමින් සත් දිනක් ගෙවා, ඉක්බිති මහ පෙරහැරින් උතුරු දොරින් පිවිස කුසිනාරා නුවර මැදින් පිටතට වැඩම කරවා නැඟෙනහිර පැත්තෙහි වූ මල්ල රජුන් ගේ මුකුටබන්දන නම් චෛත්‍ය ස්ථානයෙහි තැබූහ. ඉක්බිති මල්ල රජහු සර්වඥ දේහය කෙරෙහි පිළිපැදිය යුතු සැටි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගෙන් අසා දැන අළුත් කසී වස්ත්‍රයෙන් බුද්‍ධ ශරීරය වෙළා ඉන් පසු මනා ව නෙළූ කපු පුළුනින් වෙළූහ. ඉන් පසු නැවතත් කසී වතින් වෙළූහ. මේ නියායෙන් පන්සිය වරක් පන්සියයක් පමණ කපු පුළුනෙන් ද පන්සියයක් කසී වතින් ද බුද්‍ධ ශරීරය වෙළා සුවඳ තෙල් පිරූ රන් දෙණෙක බහා එ බඳු ම රන් දෙණෙකින් වසා සුවඳ දරින් එක් විසි රියන් උසැති කොට කරවන ලද දරසෑයෙහි රන්දෙණ නැංවූහ. ඉක්බිති බාල මධ්‍යම වයස් ඇති මල්ල රජහු සිවු දෙනෙක් සුවඳ දියෙන් ඉස් සෝදා නා අලුත් වස්ත්‍රයෙන් සැරැසී චිතකයට ගිනි තැබූහ. ගිනි නො දැල්විණ. මල්ල රජුන් එයට හේතුව විචාළ විට මහා කාශ්‍යප තෙරුන් එන තෙක් එය දැවෙන්නට දෙවියන් ඉඩ නො දෙන බව අනුරුද්‍ධ තෙරුන් වහන්සේ වදාළ සේක. ස්වල්ප වේලාවෙකින් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ එහි වැඩි සේක. වැඩ සිවුර ඒකාංශ කොට පොරොවා වැඳ තුන් වරක් දර සෑය ප්‍රදක්ෂිණා කොට ශ්‍රී පාදය පැත්තෙන් චිතකය හා රන් දෙන විවෘත කොට සිරිපා යුවල වැන්ද සේක. උන් වහන්සේ හා වැඩි පන්සියයක් පමණ වූ භික්ෂූහු ද වැන්දහ. ඉන් පසු දර සෑය දේවතානුභාවයෙන් තෙමේ ම හාත්පස එක් පැහැර ගිනි දැල්වී ගියේ ය.

දෑ බුද්‍ධ ශරීරයෙහි භාග්‍යවතුන් වහන්සේ ගේ අධිෂ්ඨානය පරිදි සතර දන්ත ධාතු, දෙ අකු ධාතු, නලාට ධාතු යන ධාතුහු සත් දෙන නො විසිරුණහ. ඉතිරි ධාතුහු අබ කඩ සාල් මුං බියලි පමණට විසිර ගියහ. මෙසේ ධාතුන් පමණක් ශේෂ වූ කළ, අහසින් ද පිරිවරා සිටි සල් රුක්වල කඳ අතු අතරින් ද දිය දහර නැඟ සෑයේ ගිනි නිවී ය. මල්ල රජහු ද සුවඳ දිය ඉස්සහ.

ධාතු පූජාව

ඉක්බිති මල්ල රජහු නුවර දෙව් පුරයක් සේ සරසා සර්වඥ ධාතු රන් දෙණක තබා, එය මනා ව සැරැසූ ඇතකු පිටින් නුවරට වැඩම කරවා, එහි සන්ථාගාර ශාලායෙහි මහඟු පර්‍යඞ්කයකට පැමිණැවූහ. ඉක්බිති එහි වටේ රකවල් තබවා මල්ල රජුන් ප්‍රමුඛ කුසිනාරා නුවරැ වස්සෝ නෘත්‍යගීතාදියෙන් සත් දිනක් ධාතූන් පිදූහ.