පිරිනිවන් මංචකයෙහි සැතපීම

එ විට දිව්‍ය බ්‍රහ්ම සේනාවෝ අහස්හි සිට සුවඳ සුණු මල් ආදිය වගුරුවා ලීමෙන් ද දිව්‍ය ගීත වාදිත පැවැත්වීමෙන් ද පුද පෙළහර කළහ. එය දුටු භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්ථවිරයන් අමතා, “ආමිස පූජා මාත්‍රයෙකින් පිදීම තථාගතයන් වහන්සේට කරන නිසි ගරු බුහුමන් නො වන බවත් යම් භික්ෂුවක් හෝ මෙහෙණියක හෝ උපාසකයකු හෝ උපාසිකාවක නවලෝකෝත්තර ධර්මයට අනුධර්ම වූ පූර්වභාග ප්‍රතිපත්තියට පිළිපන්නකු ව වසතොත් ඒ පුද්ගලයා නිසි උතුම් පූජායෙන් තථාගතයන් පුදන්නකු බවත්” 221 වදාරා අවවාද කළ සේක.

එ වේලෙහි ආයුෂ්මත් උපවාන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පවන් සලමින් සිටියාහ. මහානුභාව සම්පන්න රහතකු වූ උන් වහන්සේ ගේ ශරීරය විනිවිද දැකීමට දෙවියෝ පවා අසමර්ථහ. එ බැවින් එහි භාග්‍යවතුන් වහන්සේ තමන් දැකීමට රැස්වන දේවතාවන් ගේ සිත් රිදෙනුවට අවකාස නො තබන සේක් එ තැනින් ඉවත් වන්නැයි ඒ තෙරුනට වදාළ සේක. දෙවියනට ඉඩ දී තෙරණුවෝ ඉන් ඉවත් වූහ, අනාගාමී ද රහත් ද දේවතාවන් හැර සෙසු දෙවියෝ නොයෙක් අයුරින් හඬමින් වැලැපෙමින් බිම ඇද වැටෙමින් පෙරැළෙමින් භාග්‍යවතුන් වහන්සේ පිරිවරා සිටියහ.

ඉක්බිති අනඳ තෙරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ,

“ශ්‍රද්ධාවත් කුලපුත්‍රයා විසින් දැක්ක යුතු වූ, දැකීමෙන් සංවේග ඇති වීමට හේතු වූ ස්ථාන සතර බුදුරජුන් උපන් භූමිය, බුදු වූ තැන, දම්සක් පැවැත්වූ තැන, පිරිනිවන් පෑ තැන” යැයි ද,

වදාරා ඉක්බිති ස්ත්‍රීන් කෙරෙහි භික්ෂූන් විසින් පිළිපැදිය යුතු සැටි ද වදාළ සේක. නැවත භාග්‍යවතුන් වහන්සේ ගේ මෘත දේහය කෙරේ පිළිපැදිය යුතු සැටි විචාළ විට, තථාගත ශරීරය පිදීම පිණිස කාලය මිඩංගු නො කළ යුතු යැ යි ද ක්ෂත්‍රිය බ්‍රාහ්මණාදීන් බුද්‍ධ ශරීරය පුදති යි ද වදාළ සේක.

“බුද්‍ධ ශරීරය කෙරෙහි ඔවුන් විසින් කෙසේ පිළිපැදිය යුතු දැ යි ද විචාළ විට “චක්‍රවර්ති රජුන්ගේ ශරීරය කෙරෙහි පිළිපැදිය යුතු ලෙස යැ” යි වදාරා, එහි ක්‍රමය ප්‍රකාශ කළ සේක. ඉන් පසු බුද්‍ධ ශරීරයට සත්කාර කිරීමෙන් මහත් පින් ලැබෙන බව ද, බුදු පසේ බුදු රහත් සක්විති රජ යන සතර දෙනා ස්තූපාර්හ පුද්ගලයන් බවද වදාළ සේක. මේ කරුණු ගැන සලකා බලන අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ එ දින ම පිරිනිවන් පාන සේකැ යි වැටහුණේ ය. එ හෙයින් හටගත් බලවත් ශෝක ඇත්තේ ඉන් ඉවත් ව ගොස් මණ්ඩල මාලයෙහි දොරබා කෙළවරැ අගුල් කණුවැ එල්බ ගෙන,

“අහෝ මම් තව ම රහත් වීමට කළ යුතු දෑ අවසන් නො කෙළෙකිමි. මට දයායෙන් අවවාදානුශාසන කරන භාග්‍යවතුන් වහන්සේ අද පිරිනිවන් පානා සේක. අනේ ! හෙට සිට මුහුණ සේදීමට කාට වතුර දෙන්නෙම් ද? කාගේ පා සෝදන්නෙම් ද? කාගේ සේනාසනය අරපරිස්සම් කොට තබන්නෙම් ද? කාගේ පාත්‍ර සිවුරු ගෙන ඇවිදින්නෙම්ද?”

යන ආදීන් විලාප කිය කියා හඬමින් සිටියහ. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා “මහණෙනි, ආනන්ද කොයි දැ”යි විචාළ සේක. “ස්වාමීනි, මණ්ඩල මාලයෙහි අගුල් කණුයෙහි එල්බගෙන හඬන්නේ යැ” යි භික්ෂූහු කීහ. එ විට බුදුරජාණන් වහන්සේ අනඳ තෙරුන් කැඳවා ගෙන එන්නට නියම කළ සේක. අනඳ තෙරණුවෝ ද භික්ෂූන් විසින් දන්වන ලද්දෝ ආහ. අවුත් වැඳ පසෙක උන්හ.

භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා,

ආනන්දයෙනි, නො හඬන්න. ශෝක නො කරන්න. හැම ප්‍රිය මනාප දැයින් වෙන්වීම කලින් ම මා කීවා නො වේ ද? හැදුණු දෑ කැඩෙන බිඳෙන සුලු ය. එ සේ කලැ එය පලුදු නො වේ වා යි සිතා ඒ පෙරැ ළීම් වළකා ලන්නට කිසිවකුටත් නො හැක්ක. “ආනන්දයෙනි, තෙපි බොහෝ කල් හිත කැමැති ව, හමුයෙහිත් නො හමුයෙහිත් එක හිතින් ම මෛත්‍රීසහගත අප්‍රමාණ කාය වාග් මනඃ කර්මයෙන් තථාගතයනට උවටන් කොළෝ ය. ආනන්දයෙනි, තෙපි පෙර ද බොහෝ පින් කළ කෙනෙක. එ බැවින් පමා නො වවු. නොබෝ කලෙකින් ම තෙපි රහත් බව ලබන්නහු යැ” යි වදාළ සේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූනට ආමන්ත්‍රණය කොට අනඳ තෙරුන් ගේ ගුණ රාශිය ප්‍රකාශ කළ සේක.

මහා සුදර්ශන සූත්‍රය දෙසීම

ඉක්බිති අනඳ තෙරණුවෝ “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ දුර්ගම ස්ථානයක් වූ කුඩා නුවර දී නො ම පිරිනිවන් පානා සේක් වා. චම්පා රාජගෘහ ශ්‍රාවස්ති සාකේත කොසඹෑ බරණැස් යන මෙකී නගරයෙක පිරිනිවන් පානා සේක්වා”යි කී හ. එ විට භාග්‍යවතුන් වහන්සේ ඒ එසේ පහත් කුඩා නුවරෙකැ යි නො සිතිය යුතු බවත්, පෙර එය මහාසුදර්ශන චක්‍රවර්ති රජු ගේ වාසස්ථානය වූ බවත් ප්‍රකාශ කිරීමෙන් මහා සුදර්ශන සුත්‍රාන්තය [1]* වදාළ සේක.

මල්ල රජුන්ගේ රැස්වීම

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් එ දින රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව මල්ල රජුනට අනඳ තෙරුන් අත දන්වා යැවූ සේක. කුසිනාරා පුර සියලු මල්ලයෝ ඒ පවත් අසා ශෝක භරිත ව භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් නමස්කාර කැර සිටියහ.

අන්තිම ශ්‍රාවකයා

එ සමයෙහි කුසිනාරා පුර වුසූ සුභද්‍ර නම් පරිව්‍රාජකයෙක් ද භාග්‍යවතුන් වහන්සේ එදා රෑ පශ්චිම යාමයෙහි පිරිනිවන් පානා බව අසා තමා ගේ සැක දුරු කැර ගනු සඳහා එහි ගොස් භාග්‍යවතුන් වහන්සේ දක්නා කැමැති බව දැන්වූයේ ය. “භාග්‍යවතුන් වහන්සේට වෙහෙස නො කළ මැනැවැ”යි කියා අනඳ තෙරණුවෝ එය ප්‍රතික්ෂේප කළහ. ඒ දෙදෙනා ගේ කථා සංලාපය ඇසූ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා, සුභද්‍ර පිරිවැජියා හට තමන්ගෙන් ප්‍රශ්න අසන්නට ඉඩ ඇති කළ සේක. පිරිවැජියා ද ගොස් ප්‍රශ්න විචාරනුයේ, “පූරණකාශ්‍යපාදී තීර්ථකයෝ තමන් ප්‍රතිඥා කළ පරිදි දුකින් මිදීමට මාර්ගය දත්තෝ ද? ඔවුන් ගේ ධර්මය නෛර්යාණික ද නැද්දැ” යි විචාළේ ය.

එ විට භාග්‍යවතුන් වහන්සේ “ඔවුන් ගේ කරුණු අහක තිබේ වා. මම් නුඹට ධර්මය දෙසන්නෙම්, එය අසන්න, සිත තබා ගන්නැ” යි වදාරා මෙසේ දම් දෙසූ සේක.

“සුභද්‍රය, යම් සස්නෙක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් එහි පළමු ශ්‍රමණයා (සෝවාන් පුද්ගලයා) ද නැත්තේ ය. දෙ වෙනි ශ්‍රමණයා (සකෘදාගාමී පුද්ගලයා) ද නැත්තේ ය. තෙවෙනි ශ්‍රමණයා (අනාගාමි පුද්ගලයා) ද නැත්තේය. සිවු වන ශ්‍රමණයා (අර්හත් පුද්ගලයා) ද නැත්තේ ය. යම් සස්නෙක වනාහි අරි අටැඟි මඟ ඇත්තේ නම් එහි ම එකී සතර ශ්‍රමණයෝ ඇත්හ. සුහද්‍රය, මේ සස්නෙහි අරි අටැඟි මහ ඇත් ම ය. එ බැවින් මෙහි ඒ සතර ශ්‍රමණයෝ ම ඇත්හ. සෝවාන් ආදි සතර ඵල පිණිස විදසුන් වඩන සිවු දෙනා ද මාර්ගස්ථ සිවු දෙනා ද ඵලස්ථ සිවු දෙනා දැයි මෙකී දොළොස් ශ්‍රමණයන් නැති පාරවාදයෝ (අන්‍ය දෘෂ්ටිහු) හිස් හ. තුච්ඡහ. සුභද්‍රය, මේ දොළොස් ආකාර භික්ෂූහු නිසි සේ වසත් නම් (ඒ සෝවාන් ආදීහු අන්‍යයනට ද තමන් ලත් මාර්ග ඵලාදිය කියා දී තවත් මාර්ගස්ථ පුද්ගලයන් ඇති කරන්නට තැත් කරත් නම්) ලෝකය රහතුන් ගෙන් හිස් නො වන්නේ ය.

“සුහද්‍රය, එකුන් තිස් වයස් ඇති ව සිටි මම් කිංසත්‍යගවේෂි ව යම් දිනෙක පැවිදි වීම්ද, එදා පටන් අද තෙක් අතර කාලය හවුරුදු එක් පණසක් පමණ වේ. මේ කාලයෙහි ආර්‍ය්‍ය මාර්ග ඵල ප්‍රාප්තිය පිණිස විදසුන් වැඩීම පමණකුත් කරන කිසි ම පුද්ගලයෙක් මේ (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය ඇති) සස්නෙන් පිටත් හි නො වීය. මතුත් නො වන්නේ ය. එ හෙයින් ම මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙන් බාහිර වූ කිසි ම ශාසනයෙක්හි ආර්‍ය්‍ය මාර්ගයකට පැමිණි ශ්‍රමණයෙක් කිසි ම කලෙකත් ඇති නො වේ.222

මෙය ඇසූ සුභද්‍ර තෙම පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලුයේ ය. අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ අවසරය පරිදි සුභද්‍රයා පැවිදි කළහ. බුදුරජාණන් වහන්සේ ඔහු උපසපන් කොට කමස්ථානයක් දුන් සේක. සුභද්‍ර භික්ෂු තෙම උයනේ පැත්තකට ගොස් කර්මස්ථාන වඩන්නේ නො බෝ වේලාවෙකින් සියලු කෙලෙස් නසා සිවු පිළිසිඹියා හා රහත් බව ලබා භාග්‍යවතුන් වහන්සේ වෙත වැඳ පසෙක ඉඳ ගත්තේ ය. මේ තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ පශ්චිම ශ්‍රාවකයා යි.

ධර්මයේ ශාස්තෘ භාවය

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා “තමන් වහන්සේ ගේ ඇවෑමෙන් ධර්ම විනය දෙක ශාස්තෘ (අනුශාසකයා) වෙතැ”යි ද තමන් වහන්සේ ධරමාණ කාලයෙහි භික්ෂූන් ඔවුනොවුනට “ආවුසෝ” (ඇවැත්නි) යන වචනයෙන් ආමන්ත්‍රණය කළ නමුත් ඉන් පසු වැඩිමාලු භික්ෂුව නවක භික්ෂුවට නමින් හෝ “ආවුසෝ” යන වචනයෙන් ආමන්ත්‍රණය කළ යුතු යැ යි ද නවක භික්ෂුව වයසින් වැඩි මහළු භික්ෂුවට “ස්වාමීනි” කියා හෝ ආයුෂ්මතුන් වහන්ස කියා ආමන්ත්‍රණය කළ යුතු යැ යි ද ආදීන් වදාළ සේක. ඉක්බිති,

භාග්‍යවතුන් වහන්සේ ගේ අන්තිම වචනය

“මහණෙනි, යුෂ්මත්නට කරුණාවෙන් අවවාද කරමි. සියලු සංස්කාරයෝ නැසෙන සුල්ලෝ ය. එ බැවින් එළැඹ සිටි සිහියෙන් සියලු පැවිදි කිස සම්පූර්ණ කරවු”218 යැ යි මේ අන්තිම වචනය වදාළ සේක.

  1. * මෙය දික් සඟියේ ඇතුළති.