සුන්දරී පරිව්‍රාජිකාව ගේ දුෂ්ට ක්‍රියා

භාග්‍යවතුන් වහන්සේට ද භික්ෂු සංඝයාට ද රට වැස්සාගේ මහත් ගෞරවාදර සත්කාර දුටු තීර්ථකයෝ ඉවැසියැ නො හැකිව භාග්‍යවතුන් වහන්සේට අපකීර්තියක් ඇතිකිරීමෙහි සුන්දරී නම් රූපශ්‍රීයෙන් යුත් පරිව්‍රාජිකාවක මෙහෙයූහ. ඕ තොම සුදු වස්ත්‍ර හඳිනා පොරෝනා නිකායකට අයත් තැනැත්තියකි. ඕ මනාව හැඳ පොරවා මල් ගඳ විලවුනෙන් සැරැහී ජේතවනාරාමයෙන් මහජනයා සවස බණ අසා එන වේලාව බලා විහාරය අතට යෙයි. “කොහි යෙහි දැ?” යි ඔවුන් ඇසූ විට ජේතවනාරාමයට යන බව කියා ගොස් ආරාම ප්‍රාකාරයෙහි දොරටුව සමීපයෙහි සක්මන්කොට දොර වැසූවිට නුවරට යයි. නැවත පසු දා උදේම ජේතවනාරාමයට ගොස් ගඳකිළිය සමීපයේ මල් සොයන්නියක මෙන් හැසිරෙයි. බුද්ධෝපස්ථානයට ආ මිනිසුන් “මෙහි කුමට අවුදැ?”යි විචාළ විට යම් කිසිවක් කියා මඟ හරියි. මෙසේ අඩ මසක් පමණ ගත වූ පසු එක් රැයෙක තීර්ථකයෝ රහසින් ඇය මරවා ජේතවන පොකුණ අද්දර වළැ ලා පාන් වූ කල “සුන්දරී නැතැ” යි කලබල කළහ. කොසොල් රජුට ද දැන්වූහ. ඔවුන් කැමැති තැනක ඇවිද ඇය සෙවීමට රජ විසින් අවසර දෙන ලදින්, ජේතවනයට වැද ඇය සොයන්නවුන් සේ අඟවා, වළැලූ තැනින් සිරුර ගොඩ ගෙන ඇඳක තබා නුවරට ගෙන ගොස්, ශ්‍රමණ ගෞතමයන් හා භික්ෂු සංඝයා විසින් ඕ මරා සඟවන ලදී යැයි චෝදනා කොට ඇවිද්දහ. එදා අලුයම බුදු රජාණන් වහන්සේ නුවණින් ලොව බලා වදාරන සේක්, එ දින තීර්ථකයන් අපකීර්තියක් උපදවන බව දැන “ඔවුන් ගේ බොරු චෝදනා” පිළිගෙන මහජනයා මා කෙරේ නිකරුණේ කිපී අපායාභිමුඛ නො වේවා”යි ඔවුන් කෙරේ කරුණායෙන් ගඳකිළියේ දොර වසා ඇතුළේ ම උන් සේක. පිඬු පිණිස වත් නො වැඩි සේක. භික්ෂූහු වනාහී පිඬු පිණිස හැසුරුණහ. මිනිස්සු භික්ෂූන් දැක නොයෙක් අයුරින් බැණ වැදුණහ. අනඳ තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට එපවත් සැලකොට, “ස්වාමීනි, තීර්ථකයන් විසින් මහත් අපකීර්තියක් උපදවන ලදී. මෙහි විසිය නො හේ, ජම්බුද්වීපය විශාල ය. අන් තැනකට යම්හ” යි කීහ. “ආනන්දය, එහි දී මෙසේ ම අපකීර්තියක් ඇති වූවොත් කොහි යන්නෙමු දැ?” යි බුදුරජාණන් වහන්සේ ඇසූ සේක. “වෙන නුවරකට යන්නමු” යි තෙරණුවෝ කීහ. එවිට බුදුරජාණන් වහන්සේ,

“ආනන්දය, ඉක්මන් නො වව, බලාපොරොත්තු වව, මේ නින්දා ගර්ත ඝෝෂය පවතින්නේ සතියක් පමණ ය. සමහරු දුෂ්ට සිතැති ව ද, තවත් කෙනෙක් ඇත්තක් ම යැ යි සිතා ද, ආක්‍රෝශ කෙරෙති. තීර්ථකයෝ දුෂ්ට සිතින් බොරුයෙන් දොස් නඟත්. ඔවුන්ගේ කතා ඇසුවෝ ඒ සැබෑ යැ යි විශ්වාස කොට ගර්හා කෙරෙත්. එ හෙත් බුද්‍ධ මුනි තෙම නිර්දෝෂ බැවිනුත්, නො කිපෙන බැවිනුත්, ඒ ගර්හා අපහාස නො සලකයි. නො පිළිගනියි. කිසිවක් කෙරෙහි රාගයෙන් රැඳීමකට ද්වේෂයෙන් විෂ්ට බවකට හෝ මෝහයෙන් මුළා බවකට නො පැමිණේ යැ”යි වදාළ සේක.

සියලු තැනදිම තුෂ්ණිම්භූත නො විය යුතු

මෙ සේ වදාරා “ආනන්දය, මිනිසුන් නින්දා අපහාස කරන විට භික්ෂූහු කුමක් කියද්දැ” යි ඇසු සේක. “කිසිවක් නො කියතැ” යි අනඳ තෙරණුවෝ කීහ. එවිටැ “ආනන්දය, මම් සිල්වතිමි” යි හැම විට ම නිහඬ වැ සිටිය යුතු නො වේ.

“නැති දොස් නගා බොරු කියන්නා නිරයට යයි. තමා පව් කොට එය නො කෙළෙමි යි කියන්නා ද එසේ ම නිරයට යයි, නිභීන කම් කළ ඔහු දෙදෙනා ම පරලොවැ දී දුක් විඳින්නාහු සම වෙත් යැ”යි ඒ චෝදකයනට මෙසේ පෙරළා චෝදනා කරවු” යි වදාළ සේක. භික්ෂූහු ද එසේ ම කළහ. නුවණැති මිනිස්සු ඒ අසා නිශ්ශබ්ද වූහ.

රජ තෙමේ ද රාජ පුරුෂයන් සැම තැන යවා පරීක්ෂා කොට තීර්ථකයන් ගෙන් අල්ලස් ගෙන සුන්දරිය මරා දැමූ ධූර්තයන් අල්ලා ඔවුනට නිග්‍රහ කොට ඔවුන් ගෙන් එ පවත් දැන තීර්ථකයනට ද නින්දා කෙළේ ය. මිනිස්සු ද තීර්ථකයනට දුටු දුටු තැන දී “භාග්‍යවතුන් වහන්සේට මොහු අපහාස කළහ” යි කියා, ගලින් මුලින් ගැසූහ. එ පවත් අනඳ තෙරණුවෝ බුදුරජාණන් වහන්සේට දැන්වූහ. ඔවුන් කළ අපරාධය ඔවුන් පිට ම පැමිණි බව වදාරා, බුදුරජාණන් වහන්සේ ඒ මුල් කොට ගෙන දම් දෙසු සේක. සතිය ඉක්ම ගිය පසු රජ තෙම මළකුණ ඉවත් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ “ස්වාමීනි, මෙ වැනි අයසක් ඇති වූ විට මටවත් දැන්විය යුතු නො වන්නේදැ?”යි කීයේ ය. භාග්‍යවතුන් වහන්සේ “මහරජ, මම සිල්වතෙක, ගුණ සම්පන්නයෙකැ”යි කියා අනුනට දැන්වීම ආර්‍ය්‍යනට නො වටී යැ” යි වදාළ සේක. ඉක්බිති මෙය ඇරැබැ රජුට දහමක් දෙසූ සේක.