භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් අමතා “ආනන්දය ශාරීරික, උද්දේශික, පාරිභෝගික යැ යි පූජ්‍ය වස්තූහු තිදෙනෙකි. ඉන් ශාරීරික ධාතු පූජාව බුද්‍ධ පරිනිර්වාණයෙන් පසු ව වන්නේ ය. උද්දේශික පූජාව නම් ධර්මයට බුද්‍ධ ප්‍රතිමාදියට වෙයි. පාරිභෝගික ධාතු පූජා නම් පරිභෝග කළ පාත්‍ර චීවරාදියට ද බුද්‍ධත්වයේ දී පිටදුන් බෝධි වෘක්‍ෂයට ද කැරෙන සත්කාරය යි. එබැවින් ජය ශ්‍රී මහා බෝධියෙන් ඵලයක් ගෙන්වා මේ ජේතවනාරාමයෙහි රෝපිත කරවා සත්කාර කරත් හොත් ඒ මට කළ සත්කාරය හා සම යැයි වදාළසේක.
අනඳ තෙරණුවෝ මෙ පවත් කොසොල් රජු ආදීනට දන්වා එ වේලායෙහි ම ජේතවන දොරටුව සමීපයෙහි වළක් කණවා, ජයසිරි මහ බෝ රුකින් ඵලයක් ගෙනවුත් දෙන්නට මුගලන් තෙරුන් අයැදූහ. මුගලන් තෙරණුවෝ තමන් එය බෝ රුකින් ගෙනෙන සැටි සියල්ලට පෙනෙන සේ ඉටා එ කෙණෙහි ඍද්‍ධියෙන් ගොස් උරුවිල්වායෙහි වූ ජයශ්‍රීමහාබෝධිවෘක්‍ෂය සමීපයට වැඩ එහි නටුයෙන් ගැළැවී එන ඵලයක් බිම වැටිය නොදී සිවුරු පටින් පිළිගෙන, එකෙණෙහිම ගෙනැවිත් අනඳ තෙරුනට දුන්හ. අනඳ තෙරණුවෝ එය කොසොල් රජුට බාර කළහ. රජ එය රුවන් කරඬුවෙකින් ගෙන හිස මත තබා ගෙන එය හිඳුවීමට කැරුණු වළ තෙවරක් පැදකුණු කොට අනේපිඬු සිටු අතට දුන්නේ ය. සිටුහු ගන රන් තලියෙක සුවඳ කලල් පුරා, තලියේ පතුල සිදුරු කොට වළ මැද තබා එහි බෝ පැළය සිටුවූ හ.
මෙය අනඳ තෙරුන් ගේ නියෝගයෙන් සිටුවන ලද බැවින් ද මහජනයාගේ සිතැ ආනන්දය ඇති කෙරෙමින් වැඩුණු හෙයින් ද ආනන්ද බෝධි නම් වීය.
දිනෙක භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන්ගේ අයදනින් ඒ බෝරුක මුල රෑ තුන්යම්හි සමාපත්ති සැපයෙන් වැඩ හුන් සේක. මෙසේ ආනන්ද බෝධිය පාරිභෝගික චෛත්‍යයක් වීය.
ජීවකම්බ වනය පිදීම
භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අතිශයයෙන් පැහැදුණු රාජ වෛද්‍ය කෝමාරභච්ච ජීවක තුමා ස්වකීය අඹ වනයෙන් උන්වහන්සේ පිදුයේ මෙ සමයෙහි ය.