විසල් පුර වැඩීම

ඉන් නික්ම වෛශාලි පුරයෙහි අම්බපාලි ගණිකාව ගේ උයනට වැඩ එහි දී භික්ෂූනට සතිපට්ඨාන දේශනාව වදාළ සේක. අම්බපාලි ද[1]* භාග්‍යවතුන් වහන්සේ වැඩි බව අසා යුහුසුලු ව ගොස් පසු දා දනට නිමතා එ දින බුද්‍ධ ප්‍රමුඛ සංඝයා වැඩම කරවා දන් දී භාග්‍යවතුන් වහන්සේ සිය අඹ වනයෙන් පිදූහ. ස්වල්ප කලක් භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වුසූ සේක. මෙ සමයෙහි විසල් පුරය සමීපයෙහි නුවරින් පැසිම් දිග වන ලැහැබෙහි දී මහා සිංහනාද[2] සූත්‍රය වදාළ සේක.

  1. * මෝ තොම නො බෝ දිනකින් පැවිදි වී මහණ දම් පුරන්නී සිය පුත් විමල කොණ්ඩඤ්ඤ තෙරුන් ගෙන් බණ අසා රහත් වූවාය.

  2. මෙය මැදුම් සඟියේ සූත්‍රයෙකි https://tipitaka.lk/mn-1-2-2/pali