ඇතුගේ මහා දානය,

බුදු රජ වනයෙන් පිටත් වීම

ඉක්බිති අනේ පිඬු සිටු ආදීන් එවූ හසුන් දැන්වූ කල භාග්‍යවතුන් වහන්සේ පාත්‍ර සිවුරු ගන්වා ගෙන පිටත් වූ සේක. එ විට හස්ති තෙම ගොස් පාර සරස සිටියේ ය. “වහන්ස, හස්ති තෙම කුමක් කෙරේ දැ” යි භික්ෂූහු විචාළහ. “මහණෙනි, මේ තෙම තොපට භික්ෂාව දෙනු කැමැත්තේ ය. මේ ඇතා මට බොහෝ කලක් උපකාර කළ කෙනෙකි. එ බැවින් මොහු ගේ සිත රිදුවීම හොඳ නැත. මහණෙනි, ආපසු යම්හ” යි වදාළ සේක. එ සේ වදාරා ඒ භික්ෂූන් ගෙන ආපසු වැඩි සේක. හස්ති තෙමේ ද කැලෑයෙහි ඇවිද කොස් කෙසෙල් ආදී නානා ඵල ගෙන වුත් රැස් කොට තබා පසු දා බුද්‍ධ ප්‍රමුඛ භික්ෂූනට පිළිගැන්වුයේ ය. වළඳා ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හා පිටත් වූ සේක. එ විට හස්ති තෙම භික්ෂූන් මැදින් ඉඩ ගනිමින් ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි හරස් ව සිටියේ ය. “වහන්ස, ඇත් තෙම කුමක් කෙරේ දැ”යි භික්ෂූහු විචාළහ. “මහණෙනි, තොප යවා මෙ තෙම මා නවතනු කැමැත්තේ යැ” යි වදාළ ස්ක. එ සේ වදාරා, ඇතුට කතා කොට “පාරිලේයකය, මාගේ මේ ගමන නැවැත් විය නො හැකි ය. නුඹට මේ තිරිසන් ආත්මයේ සිට මේ පින් මිස මෙයට වැඩියෙන් ධ්‍යානයක් හෝ මාර්ග ඵලයක් ලැබිය නො හැකි ය, එබැවින් නුඹ මෙහි සිටින්නැ”යි වදාළ සේක. එය තේරුම් ගත් හස්ති තෙම සොඬය මුඛයෙහි බහා හඬමින් භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙන් ගියේ ය. ශාස්තෘන් වහන්සේ ගම සමීපයට පැමිණ “පාරිලේයකය, මෙ තැනින් එහා යෑම නුඹට අයෝග්‍ය යි. මිනිස් පියෙසට ගියොත් නුඹට හිරිහැර ඇතිවෙයි. එ බැවින් නුඹ මෙයින් එහා නො ගොස් නවතින්නැ”යි වදාළ සේක.

හස්ති තෙම බලවත් ශෝකයෙන් හඬමින්, බුදුරජාණන් වහන්සේ වඬිනු බලා ගත් වණම සිටියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට නො පෙනී ගිය කෙණෙහි හේ ඉසිලිය නො හැකි ශෝකයෙන් ළය පැළී මළේ, තව්තිසා භවනයෙහි දෙව් පුතෙක් ව උපන්නේ ය.

සැවැත් පුරයට වැඩීම

ශාස්තෘන් වහන්සේ ද පිළිවෙළින් සැරි සරා සැවැත් නුවර ජේතවනාරාමයට වැඩි සේක. කොසඹෑ පුර භික්ෂූහු ඒ බව අසා සැවැත් නුවර යෑමට පිටත් වූහ. ඒ භික්ෂූන් එන බව ඇසූ කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ “මගේ රටට එන්නට ඒ භික්ෂූනට ඉඩ නො දෙමි” යි කීය. එවිටැ “මහ රජ, ඔවුනොවුන් විවාද කැරැ ගත්තත් ඒ භික්ෂූහු සිල්වත්තු ය. දැන් ක්ෂමාව ලබා ගන්නට මා වෙත එති. එන්නට ඉඩ දෙව” යි වදාළ සේක. අනේපිඬු සිටු ද දෙව්රමට එන්නට ඉඩ නො දෙන්නට සැරසුණු නමුත් භාග්‍යවතුන් වහන්සේ පළමු සේ ම වදාරා විහාරයෙහි ඉඩ ලබා දෙවා ඒ භික්ෂූනට ඉදුම් හිටුම් ආහාර පානාදිය නිසි සේ ලබා දෙවූ සේක. එහෙත් අන් කිසිදු භික්ෂුවක් ඒ කොසඹෑ පුර භික්ෂූන් හා එක් වැ නො උන්නේ ය. එහි පැමිණි පැමිණි තැනැත්තන් “විවාදකාරී භික්ෂූහු මොහු දැ?” යි ඇඟිලි දික් කොට පෙන්වා ඇසීමෙන් ඒ භික්ෂූහු වඩ වඩා ලජ්ජාවට පත් වූහ. හිස් ඔසවා ගන්නට ද බැරි පමණට ලජ්ජාවට පත් වූ ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පා මුල වැදැ හෙවැ ක්ෂමාව ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ ඔවුනට සමාව දී අවවාද කොට දීඝිති කෝසල ජාතකය වදාළ සේක.