සාමාවතී ගේ මරණය

එ සමයෙහි දිනක් බුදුරජාණන් වහන්සේ නුවර ප්‍රධාන මාලාකාරයා ගේ ගෙයි දනට වැඩි සේක. උදේන රජු ගේ සාමාවතී නම් අග මෙහෙසියක ගේ උපස්ථායිකා වූ ඛුජ්ජුත්තරා නම් ස්ත්‍රියක් මල් මිල දී ගැන්මට වෙන දා සේ ම එදාත් පැමිණි තැනැත්තී එහි දී බණ අසා සෝවාන් වූවාය. ඉක්බිති මාලිගාවට ගිය ඇගෙන් බණ අසා සාමාවතී ද ඇය පිරිවර ස්ත්‍රීහු ද සෝවාන් වැ, එතැන් සිට ඇය දාසි භාවයෙන් මුදා මවු තනතුරෙහි ද ඇදුරු තනතුරෙහි ද තබා සත්කාර කළහ. ඛුජ්ජුත්තරා උපාසිකා තොමෝ ද සියලු දිනයෙහි ම භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අසා අවුත් සාමාවතී ආදීනට කියන්නී කල් යෑමේදී ත්‍රිපිටකධර වූවාය. සාමාවතිය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටි බව දත් මාගන්දියා බිසව නොයෙක් අයුරින් ඇය කෙරේ රජු බිඳුවා ලීමට උත්සාහ කළා ය. කිසි විටෙක රජ ඒ විශ්වාස කළ නමුත් පසු ව සාමාවතියගේ නිදොස් බව තේරුම් ගත්තේ ය. ඉක්බිති සාමාවතී තොම රජු ගෙන් අවසර ගෙන ඇගේ මාලිගාවට ආනන්ද ස්ථවිරයන් වහන්සේ කැඳවා සත්කාර කොට බණ ඇසුවා ය. මේ කිසිවක් ඉවැසිය නො හී වඩ වඩා කෝපයෙන් දිලිහුණු මාගන්දියා තොම ඇගේ කුඩා පියා ලවා සාමාවතිය ගේ මාලිගාවට රහසින් ගිනි ලැව්වා ය. සාමාවතී සහිත පන්සියයක් පමණ වූ ඇගේ පිරිවර ස්ත්‍රීහු එයින් දා මළහ. රජ තෙම පසු ව එය මාගන්දියාව විසින් කරවන ලද බව දැන ගෙන, දරුණු වද දී ඇය ද ඇගේ නැදෑයින් ද මරවා දැමී ය.

නව වන වස

භාග්‍යවතුන් වහන්සේ බුද්‍ධත්වයෙන් නව වන වර්ෂයෙහි වැසි සාරමසෙහි ද ඉන්පසු ද කොසඹෑ පුර සෝෂිතාරාමයේ වුසූ සේක.