මාගන්දිය බමුණා පැවිදි වීම

පිළිවෙළින් සැරි සරන භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය නම් බමුණකු රහත් වීමට හේතු සම්පත් ඇති බව දැක අතර මගදී කුරු රට අතට යන පාරට බැස කල්මාෂදම්‍ය නම් නිගමයට වැඩ පසුදා උදේ වරුයෙහි එහි පිඬු පිණිස හැසුරුණු සේක. එහිදී මාගන්දිය[1] බමුණා බුදුරජාණන් වහන්සේ දැක “තම දුවට සුදුසු රූප ලක්ෂණයෙන් යුත් පුරුෂයෙක් ලැබිණැ” යි සතුටු ව දුව සරසවා කැඳවා ගෙන අවුත්, “මැය බිරින්දෑ කොට ගත මැනැවැ” යි දැන්වූයේ ය. එ විට කාමසම්පත්තියෙහි තමන්වහන්සේ නෑලෙන බවත් මල මුත්‍ර පිරුණු මේ ශරීරයක් පයින් වත් ස්පර්ශ කරන්නට නො කැමැති බවත් වදාළ සේක. එය අසා ඒ බමුණාගේ දූ වූ මාගන්දියා තොම ඇගේ සිරුර මල මුත්‍රයෙන් පිරුණු එකෙකැයි අවමන් කෙළේ යැ යි භාග්‍යවතුන් වහන්සේ කෙරේ වෛර බැන්දා ය. බුදුරජාණන් වහන්සේ එය නො සලකා ඇගේ මාපිය දෙදෙනාට බණ වදාළ සේක. දේශනාවසානයේ දී ඒ දෙදෙන අනාගාමී වූහ. දූ වූ තරුණ මාගන්දියා බැමිණිය ඇගේ සුලු පියාට බාර කොට දී තුමු පැවිදි වැ රහත් වූහ. තරුණ මාගන්දියා තොමෝ ද නොබෝ කලෙකින් ඇගේ රූපශ්‍රියෙහි ඇලුණු උදේනි රජහු විසින් ගෙන්වා අග මෙහෙසුන් කර ගන්නා ලදී ය.

යට කී පරිදි භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය බමුණු බැමිණි දෙදෙනාට අනුග්‍රහ කොට ආපසු වැඩ කොසඹෑ පුරයට යන දීර්ඝ මාර්ගයට බැස සැරිසරා වඩනා සේක්, නොබෝ කලෙකින් එහි පැමිණි සේක. කොසඹෑ පුර සිටුහු ද පෙර ගමන් කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කරවා තමන් කැරැවූ ආරාම තුන පිදූහ. ඉක්බිති පසු දා දනට වඩින ලෙස අයැද වැඳ පැදකුණු කොට තමන් ගෙවලට ගියහ. උදේන රජු ගේ භාර්‍ය්‍යා වී සිටින මාගන්දියා තොමෝ, බුදුරජාණන් වහන්සේ එහි වැඩි බව අසා නුවර වැසි නො හික්මුණු මැරවැර කොලු ගැටයනට අල්ලස් දී භාග්‍යවතුන් වහන්සේ ට නින්දා අපහාස කරන්නට නියෝග කළා ය. එ සේම ඔහු පසු දා නුවර පිඬු පිණිස හැසිරෙන බුදුරජාණන් වහන්සේ දැක නොයෙක් අන්දමින් නින්දා සහගත බැණුම් දෙඩුම් කළහ. ඒ දුටු ආනන්ද ස්ථවිර තෙම “මේ නගරය හැරැ යම්හ” යි භාග්‍යවතුන් වහන්සේ ට සැළ කෙළේ ය. “ආනන්දය, තථාගතවරු ලාභ අලාභ අයස යස ආදි අෂ්ට ලෝක ධර්මයෙන් චංචල නො වෙත් යැ”යි ද, මේ නින්දා අපහාස කිරීම සතියකට වඩා නොපවන්නේ යැයි” ද වදාරා බුදුරජාණන් වහන්සේ එහි ම වුසූ සේක. ඒ සිටුවරු තිදෙන මාරුවෙන් මාරුවට දන් දෙමින් මාසයක් ගත කොට සෙසු නගර වාසීනට ද දන් දීමට අවකාශ දුන්හ. නුවර ඒ ඒ වීථිවල වැසියෝ එක් ව මහ දන් පැවැත් වූහ.

  1. මාර්කණ්ඩෙය.