භද්‍රවතිකා ඇතින්න

මෙ සමයෙහි උදේන රජු ගේ භද්‍රවතිකා නම් ඇතින්න රජු විසින් නො තකා අසරණ කොට අත් හැර දමන ලද්දී, තැන තැන යෙමින් දුක සේ කල් යැවූවාය.

ඕ ශක්තිමත් සමයෙහි එ රජු ගේ මඟුල් ඇතින්න වැ සිට මහත් සත්කාර ලැබුවා ය. යුද්‍ධවලදී ද රජුට ජය ලබන්නට සහාය වූවා ය. එහෙත් ඇය මහළු වැ දුර්වල වැ කිසිත් කරන්නට නො හැකි වූ විට, රජ අන් ඇතකු මඟුලැත් තනතුරට පත් කොට ඇය නො සලකා හැරියේ ය. එ තැන් සිට ඕ සුදුසු පමණ අහරක් හෝ ඉන්නට නිසි තැනක් හෝ නො ලැබ තැන තැන ඇවිදිමින් දුක සේ කල් ගෙවූවා ය. දවසෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර පිඬු පිණිස වඩින්නා දැක, ඕ උන් වහන්සේ වෙත අවුත් පා මුල වැටී තමා විඳුනා දුක අඟවන්නී, ශබ්ද නගා හැඬුවා ය. ඇය ඇඟැවූ අදහස භාග්‍යවතුන් වහන්සේ දත් සේක. දැන, “සිතට දුක් නොගන්න. මම් ගොස් පළමුවෙන් ඔබට ලැබී තුබුණු ලෙසට ම සත්කාර සලස්වන්නෙමි” යි වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උදේන රජුගේ මාලිගාවට වැඩි සේක. රජ ද බුදු පාමොක් සඟනට දන් පැවැත්වීය. භාග්‍යවතුන් වහන්සේ දන් වළඳා අවසනැ “මහරජ, ඔබේ භද්‍රවතිකා ඇතින්න කොයි දැ”යි විචාළ සේක. “නො දනිමි වහන්සැ” යි රජ කීය.

එ විට භාග්‍යවතුන් වහන්සේ රජුට අවවාද කරන සේක්, “මහරජ, තමනට උදවු කළ අයට ශක්තිමත් කාලයේ දී සත්කාර සම්මාන කොට, උන් මහළු වූ කලැ එය පැහැර ගැන්ම නො වටී. ඔබ හැම කළගුණ දන්නවුන්, කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කරන්නවුන් විය යුතු. භද්‍රවතිකා දැන් මහළු ය. ජරා ජීර්ණ ය. අසළ වෙනෙහි වැටකේ ආදී නීරස නිරෝජස්ක දෑ කමින් අනාථ වැ කල් ගෙවයි. මහළු වූ ඇය අනාථ වන්නට ඉඩ හැරීම ඔබට නො වටී. පෙර සේ ම ඇයට සත්කාර කරන්නැ” යි වදාළ සේක.

එයසා රජ තම වරද පිළිගෙන වහා ම කෙනකු යවා ඇතින්න ගෙන්වී ය. ඇයට පළමු සේ ම සත්කාර සැලැස්වී ය. භාග්‍යවතුන් වහන්සේ මෙ සේ ඇයට සෙත සලස්වා ඝෝෂිතාරාමයට වැඩි සේක.