භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ පුර වැඩීම

භාග්‍යවතුන් වහන්සේ සැවැත්පුර වසන පළමු සමයෙහි හිමවත් පෙදෙසැ සිට එන තවුසන් සමූහයෙක් බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ බවත් එ සමයෙහි සැවැත් නුවර වසන බවත් අතර මඟදී අසා, සැවැත් පුරට යන අදහස් ඇති ව, තමන් ඇසූ ආරංචිය තමනට උපස්ථායක වූ කොසඹෑ නුවර සිටුවරුනට ද දන්වන පිණිස කොසඹෑ පුරයට පැමිණියහ. එහි ඝෝෂිත කුක්කුට පාවාරික යන මහාධන සිටුවරුන් තිදෙනාට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බව දන්වා ඒ තවුසෝ සැවැත් නුවර බලා ගමන් කළහ. ඔහු එහි ජේතවනාරාමයට පැමිණ පැවිදි ව රහත් වූහ. යට කී සිටුවරු තිදෙනා ද සැවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ අසා සෝවාන් වූහ. ඔහු බුද්‍ධ ප්‍රමුඛ සංඝයාට අඩ මසක් මහදන් දී තමන් ගේ නුවරට වඩිනා ලෙස ආයාචන කොට ගියෝ, කොසඹෑ නුවරට පැමිණ තම තමන් ගේ උයන්හි විහාර කැරැවූහ. ඉන් ඝෝෂිත සිටුහු කැරැවූ ආරාමය ඝෝෂිතාරාම යැ යිද, කුක්කුට සිටුහු කැරැවූ ආරාමය කුක්කුටාරාම යැයි ද, පාවාරික සිටුහු කැරැවූ ආරාමය පාවාරිකම්බවන යැ යි ද ප්‍රසිද්‍ධ වී ය. මෙසේ විහාර කරවා භාග්‍යවතුන් වහන්සේට වඩින ලෙසට පණිවුඩ යැවූහ. බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවරට වඩිනා පිණිස මහද්භික්ෂු සංඝයා සහිත ව පිටත් වූ සේක.