සෝපාක නම් අසරණ දරුවා

රජගහ නුවර චණ්ඩාලයෙකුට දාව පුක්කුස කුලයෙක ස්ත්‍රියකට දරුවෙක් ලැබුණේ ය. ඔහුට සෝපාක යන නම වීය. ඒ දරුවා සිවුමැසි කලැ පියා මළේය. ක්‍රමයෙන් වැඩුණු සෝපාක තෙම සත් ඇවිරිදි වීය. දිනක් සුලු පියා “මූ මගේ පුත්‍රයා හා කලහ කෙරේ යැ”යි කිපී ඒ සෝපාක දරුවා අමු සොහොනට ගෙන ගොස් අත් දෙක ලණුවෙකින් එක් කොට බැඳ ඒ ලනුවෙන් ම ඔහු මළ කඳකට දැඩිකොට බැඳ “මූ සිවල්ලූ කා දමත් ව”යි ඔහු තනි කැරැ දමා ගියේ ය. අසරණ කුඩා දරුවා රැ මධ්‍යම යාමය පමණේ දී,

“අහෝ! මගේ කවර වරදෙක් ද? අනාථ මට අනේ! නෑයෙක් වත් පිහිට වෙන්නට නෑ! අනේ සොහොනේ බැඳි මා කවුරුවත් මුදා හරින්න!”යි විලාප කියා හැඬුයේ ය. .

“ඒ වේලෙහි ලොව බලා වදාරන බුදුරජාණන් වහන්සේ අනාථ වැ වැලැපෙන දරුවා දැක ඔහු දෙසට ආලෝකය පතුරුවා හැර ඔහුට ප්‍රකෘති සිහිය උපදවා,

“දරුව සෝපාක, මෙහි එව. තථාගතයන් දෙස බලව. රාහු ගෙන් සඳුහු මිදුණාක් මෙන් මම් නුඹ ගලවා ගන්නෙමි”යි වදාළ සේක.

දරු තෙමේ බුද්ධානුභාවයෙන් බන්ධනයෙන් මිදී ඒ බුදුරජාණන් වහන්සේ වැඩ උන් විහාරයේ පිළේ සිටියේ ය. සෝපාකයාගේ මව දරුවා නො දැක උහුගේ සුලු පියහු විචාළ නමුත්, ඔහු තමා කළ හිරිහැරය නොකීයෙන්, ඒ ඒ තැන ඇවිදත් සොයා ගත නො හැකි වැ “බුදුවරු තුන් කාලය දන්නා තැනැතෝ ලු. එ බැවින් භාග්‍යවතුන් වහන්සේ ගෙන් ම දරුවා ගේ තොර තුරු දැන ගනිමැ” යි සිතා විහාරය දෙසට ගියා ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියා ය. භාග්‍යවතුන් වහන්සේ සෘද්‍ධි බලයෙන් දරුවා මවට නො පෙනෙන්නට සැලැස්සු ස්ක. ඒ ස්ත්‍රී “ස්වාමීනි, ම පුතා දකින්නට නැත. භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ තොරතුරු දන්නා සේක් ද?”යි බුදුරජුන් විචාළා ය බුදුරජාණන් වහන්සේ,

“මරහු විසින් මඩනා ලද්දහුට පුත්‍රයෝ ද සෙසු බන්ධුහු ද පිහිට පිණිස නො වෙත්. නෑයන් කෙරෙහි ප්‍රතිෂ්ඨාවෙක් ද නැත. මෙම කරුණ දැන නුවණැත්තහු ශීලයෙන් සංවෘත ව නිවන් මග යුහුසුලු ව පිරිසිදු කළ යුතු යැ”යි වදාළ සේක.157

ධර්ම කථාව අසා ඕ සෝවාන් වූවා ය. සෝපාක තෙම රහත් විය. ඉක්බිති මවට දරුවා පෙනෙන්නට සැලැස්වූ සේක. ඕ පුතු දැක තුටු පහටු ව, ඔහු රහත් වූ බව අසා, පැවිදි කරවා ගියා ය. සෝපාක තෙම ගඳකිළිය සමීපයෙහි සක්මන් කරමින් සිටි භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ වැඳ උන් වහන්සේ පසු පස්සෙන් හක්මන් කෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ සෝපාක සාමණේර නමට උපසම්පදාව දෙනු කැමැති සේක්, “එක නම් කිමෙක් ද?” යන ආදින් ප්‍රශ්න දහයක් ඇසූ සේක. සාමණේර තෙම ඒ සියල්ලට ම හරියට උත්තර දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ළදරුවකු වූ ඔහුගේ සමත්කමට සතුටු පඬුරක් වශයෙන් සත් හවුරුදු වයසේ දී ම උපසම්පදාව දුන් සේක. මෙය පඤ්භව්‍යාකරණූපසම්දා නම් විය.