මහලු සැඬොලියකට දැක්වූ කරුණාව

star_outline

භාග්‍යවතුන් වහන්සේ දිනක් අලුයම්හි මහා කරුණා සමාපත්තියට සමවැද ඉන් නැඟිට ලොව බලා වදාරන සේක්, එ නුවරැ කුප්පායමෙකැ වසන ආයු පිරිහී සිටි, මරණින් මතු නිරයෙහි ඉපදීමට හේතු වූ අකුසල කර්මයක් එළැඹ ඇති මහලු චණ්ඩාල ස්ත්‍රියක දුටු සේක. දැක ඇය කෙරෙහි මහත් අනුකම්පායෙන් මෙහෙයුණ සිත් ඇති සේක්, ඇගේ දුගති ගමන වළක්වන අදහසින් භික්ෂු පිරිස හා රජගහ නුවර පිඬු පිණස වැඩි සේක. එ කලැ යට කී මහළු සැඬොල් ස්ත්‍රී සැරයැටි වාරුවෙන් ඇවිදින්නී, ඉදිරි මඟින් වඩිනා බුදුරජාණන් වහන්සේ දැක නැවැතී සිටියා ය. භාග්‍යවතුන් වහන්සේ ද ඇගේ ගමන වැළැක්වීමට මෙන් ඉදිරි පසින් සිටි සේක. එ කල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ බුදුරජාණන් වහන්සේන්ගේ අදහස දැන, ඇගේ මරණය ළං බව ද දැක, භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කිරීමෙහි ඇය මෙහෙයනුවෝ,

“චණ්ඩාලිය, කීර්තිමත් ගෞතමයන් වහන්සේ ගේ පා වඳු, නුඹට මහා අනුකම්පායෙන් මේ මහර්ෂීන් වහන්සේ ගමන නවතා දැන් මෙහි සිටින සේක් ය. පිරිසිදු සිත් ඇති, ලාභාලාභාදියෙන් කම්පිත නො වන මේ පූජ්‍ය මහෝත්තමයාණන් කෙරෙහි සිත පහදවා ගන්න, වහා දොහොත් මුදුන් තබා මුන් වහන්සේ වඳින්න, නුඹේ ආයුෂ ඉතිරි වැ ඇ ත්තේ ඉතා ම ටික යැ” යි වදාළහ.

ඕ එය අසා සිය මරණය ඉතා ළං යැයි සලකා, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා, පසඟ පිහිටුවා වැඳ, නැඟිට දොහොත් මුදුන් තබා වැඳගෙන ම බුදුගුණ සැලකීමෙන් එකඟ සිතැති ව ප්‍රීතියෙන් සිටියා ය. බුදුරජාණන් වහන්සේ “මෙය ස්වර්ගෝත්පත්තිය පිණිස මෑට සෑහේයැ” යි දැක භික්ෂු සංඝයා හා එතැනින් නික්මි සේක. උන්වහන්සේ වැඩි පසුත් බලවත් ප්‍රීතියෙන් ඒ දෙසට වැඳගෙනම සිටි ඕ තොම, කුලප්පු වී ඒ අතට වේගයෙන් දිව ගිය දෙනක විසින් අඟින් අනින ලද්දී, වැටී මළා ය. මරණින් මතු ඕ තව්තිසා දෙව් ලොව ඉපැද සැපත් විඳිමින් වුසූ තැනැත්තී, දිනෙක දිව්‍ය ලෝක චාරිකායෙහි වඩනා මුගලන් තෙරණුවනට තමා ගේ ඒ සියල් පවත් දැන්නුවා ය. මුගලන් තෙරුන් අවුත් ඒ පවත් දැන් වූ කල්හි බුදුරජාණන් වහන්සේ එය මුල් කොට පිරිසට දම් දෙසූ සේක.