භාරද්වාජයන් පැවිදිවීම

රජගහනුවර භාරද්වාජ ගෝත්‍රයට අයත් බැවින් එ නමින් ම ප්‍රසිද්‍ධ වූ බමුණක්හු ගේ ධානංජානි නම් භාර්යාව තෙරුවන් කෙරෙහි පැහැදුණු උපාසිකාවක් වූවා ය. දවසක් ඕ සිය සැමියාට බත් පිළිගන්වන්නී පය ලිස්සා වැටෙන්නට ගියා ය. එකෙනෙහිම ඕ භාග්‍යවතුන් වහන්සේ සිහිකොට “නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස” යන්න තුන් වරක් කීවා ය. එ විට බමුණා කිපී “මේ වසලී කොතැනැදීත් ඒ මුඩු මහණා ගේ ගුණ කියයි. වසලිය, මම් තිගේ ඒ ශාස්තෘහට වාද නගමි” යි කී ය.

“බ්‍රාහ්මණය, දෙවියන් ඇතුළු ලෝකයෙහි මහණ බමුණන් සහිත ජනතායෙහි ඒ භාග්‍යවත් අරහත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේට වාදාරෝපණයට සමතෙක් ඇතැයි නො සිතමි. උන්වහන්සේ වෙතට ගියා ම මා කියන්නේ ඇත්ත ද නැත්ත දැ?” යි වැටහේවි” බැමිණි කීවා ය.

එවිට බමුණා භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ හා පිළිසඳර කතා කොට පැත්තෙක ඉඳ ගත්තේ ය. ඉඳගෙන මේ ප්‍රශ්න ඇසී ය :

“කුමක් නැසීමෙන් සුවසේ වැදහෙත හැකි ද? කුමක් නැසීමෙන් ශෝක නො කැරැ ඉඳිත හැකි ද? මොන එක් දැයක් වැනැසීම ඔබට රිසියේ දැ?”

බමුණා ඇසු මේ ප්‍රශ්නයට භාග්‍යවතුන් වහන්සේ,

“ක්‍රෝධය නැසීමෙන් සුව සේ වැදහෙයි, ක්‍රෝධය නැසීමෙන් ශෝක නො කැරැ ඉඳිත හැකි වෙයි. බ්‍රාහ්මණය, අග මිහිරක් වැ පැනෙන, දුක් විසට මුල වූ ක්‍රෝධය වැනැසීම මැනැවැ” යි ආර්‍ය්‍යයෝ පසසත්. ඒ ක්‍රෝධය නැසීමෙන් නිශ්ශෝක වේ” යැයි වදාළ සේක.

මෙය ඇසූ බමුණා තෙරුවන්හි පැහැද උපාසකයෙක් විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ගෙන් පැවිද්ද හා උපසම්පදාව ඉල්ලී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහුට පැවිද්දත් උපසම්පදාවත් දුන් සේක. පැවිදි වූ හෙතෙම විදසුන් වඩනුයේ නොබෝ දිනෙකින් කෙලෙස් නසා රහත් බවට පැමිණියේ ය.

භාරද්වාජගොත්ත බමුණා භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වීයැ යි ඇසු ඒ ගෝත්‍රයට ම අයත් තව බමුණක් කුපිත වැ භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ ය. ගොස් අසභ්‍ය පරුෂ වචනයෙන් පරිභව කළේ ය.

භාග්‍යවතුන් වහන්සේ නිහඬව ඔහුගේ බැණුම් අසා හුන් සේක. ඔහුන්ගේ බැණුම අවසන් වූ පසු ඔහුට කතා කොට,

“බ්‍රාහ්මණයෙනි, ඔබ වෙතට නෑ මිතුරෝ අමුත්තෝ හෙම ඉඳහිට එත්දැ?” යි ඇසූ සේක.

“එසේ ය එති”යි බමුණා කී ය.

“ඔවුනට ඔබ කන බොන දෑ දෙත් ද?”

“එසේ ය, දෙමි”

“ඔබ ඔවුනට දෙන ඒ දෑ උන් නො පිළිගත්තොත් ඒවා කාට අයත් වෙත්ද?”

“වෙන කාටද? ඔවුන් ඒවා නො පිළිගත්තොත් ඒවා අපට ම යි.”

බමුණා මෙසේ කී කලැ, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කථා කොට,

“බ්‍රාහ්මණයෙනි, අප ඔබට බැණුමක් කිපීමක් කලහ නැගීමක් නැතිව නිහඬ වැ ඉන්දදී තෙපි අපට ආක්‍රෝශ පරිභව කළහු ය. තොපගේ ඒ ආක්‍රෝෂ පරිභව අපි නො පිළිගනිමු. ඒවා ඔබට ම ආපහු ලැබෙයි. බ්‍රාහ්මණයෙනි, ආක්‍රෝශ කරන්නහුට පෙරළා ආක්‍රෝශ කරන්නාද, කිපෙන්නාහුට පෙරළා කිපෙන්නා ද, කලහ නගන්නහුට පෙරලා කලහ නගන්නා ද ඒ තැනැත්තා අනෙකාත් සමග එකතුව ඒවා වළඳන්නෙකි. අපි ඔබ හා එකතු ව නො වළඳමු. ඔබ කී දෑ ඔබ කරා ම පැමිණේ යැ” යි වදාළ සේක.

“රජු සහිත පිරිස “ශ්‍රමණ ගෞතමයෝ රහත් කෙනෙකැ” යි රජුත් රට වැස්සාත් පිළිගෙන ඇත. එහෙත් ශ්‍රමණ ගෞතමයන් කිපෙන බවක් මට හැඟේ යැ” යි බමුණා කී ය.

භාග්‍යවතුන් වහන්සේ.

“දාන්ත වූ සංසුන් පැවැතුම් ඇති මනා ව නුවණින් දැන සියලු කෙලෙසුන් ගෙන් මිදුණු, ලාභ අලාභ නින්දා ප්‍රශංසාදී අට ලෝ දහමින් නො සැලෙන ස්ථිර ගුණ ඇති ක්‍රෝධ නොකරන රහතකු තුළ ක්‍රෝධයෙක් කොයිද?”

“කිපුණහුට පෙරළා කිපෙන්නා ඒ පළමු වැන්නාට වඩා ලාමක ය. කිපුණහුට නො කිපෙන්නා ලෙහෙසියෙන් දිනත නො හැකි යුද්‍ධයෙකින් දිනුවෙක් වෙයි.

අනෙකා කිපුණා දැක සිහි ඇති ව ඉවසන තැනැත්තේ තමාටත් අනෙකාටත් යන දෙදෙනාට ම අභිවෘද්‍ධිය සලසන්නෙකි.

“මෙසේ ඉවැසීමෙන් තමාටත් අනුනටත් යහපත සලසන්නාට ධර්මය නොදන්නා අන්ධබාලයෝ “මෝඩයෙකැ” යි හඟිත්” යැ යි වදාළ සේක.

මේ කථාව අසා සිටි, මුලදී භාග්‍යවතුන් වහන්සේට ආක්‍රෝශ පරිභව කළ ඒ භාරද්වාජ බමුණා පැහැදී තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. ඉක්බිති පැවිද්දත් උපසම්පදාවත් ඉල්ලී ය.

භාග්‍යවතුන් වහන්සේ ඔහු ද පැවිදි උපසපන් කළ සේක. හේ විවසුන් වඩනුයේ නොබෝ කලෙකින් සියලු කෙලෙස් නසා රහත් විය.