සැඬොලකු පැවිදිවීම

star_outline

රජගහ නුවර සුනීත නම් චණ්ඩාලයෙක් වී ය. හෙතෙම අශූචි ඇද විථි ශුද්ධ කිරීමෙන් දිවි පවත්වන්නෙකි. එහෙත් ඔහු රහත් වීමට හේතු සම්පත් ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ දිනක් රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන සේක්, ඒ සුනීත චණ්ඩාලයා ශුද්ධ කරන වීථියට වැඩිසේක. සුනීත තෙම ඒ ඒ තැනින් අශූචි හා කසල එක් රැස් කොට කදින් නුවරින් පිටත ගෙන යන්නේ, භික්ෂු සංඝයා හා වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක බියෙන් තැති ගැනීමෙන් ව්‍යාකූල වැ ඉවත් වැ යන්නට මඟක් හෝ සැඟවෙන්නට තැනක් නැත්තෙන් කසල කද බිත්තියක් අද්දර තබා සිටියේ ය. කරුණාවෙන් තෙත් වූ ළයැති බුදුරජාණන් වහන්සේ ඔහු වෙත පැමිණ මෘදු වූ හඩින් “සුනීත” කියා ආමන්ත්‍රණය කොට, “මේ දුක සේ දිවි රැකීමෙන් කවර අර්ථයෙක් ද? පැවිදි වන්නට පිළිවන් දැ”යි ඇසූ සේක. සුනීත තෙම ඒ වචනය අසා ඔද වැඩී ගිය සිතැත්තේ,

“භාග්‍යවතුන් වහන්ස, මා වැනි නීචයනට මේ ශාසනයෙහි පැවිදි වන්නට ඉඩක් දෙතොත් පැවිදිවන්නට බැරි කිම? එසේ නම් භාග්‍යවතුන් වහන්සේ මා පැවිදි කරන සේක්වා”යි කීයේ ය,

“බුදුරජාණන් වහන්සේ ඔහු ඒහිභික්ෂුභාවයෙන් පැවිදි කළ සේක. ඉන්පසු ඒ සුනීත භික්ෂුව විහාරයට කැඳවාගෙන ගොස් භාවනා පිළිවෙළක් කියා දුන් සේක. හෙතෙම ඒ අනුව භාවනා කොට පළමු පඤ්චාභිඥා අෂ්ට සමාපත්ති ලබා ඉන්පසු විදර්ශනා වඩා ෂඩ් අභිඥා ඇති රහතෙක් වූයේය. දෙවියෝ ද බ්‍රහ්මයෝ ද ඒ සුනීත රහතුන් වහන්සේ කරා එළැඹ වන්දනමාන කළහ. දේව සමූහයා පිරිවැරූ තෙරුන් දුටු බුදුරජාණන් වහන්සේ සිනා පහළ කොට ප්‍රශංසා කරන සේක්.

“ඉන්ද්‍රිය සංවරයෙන්ද ප්‍රඥායෙන් ද මේ කී දෑ හැර අනෙකුත් ශ්‍රේෂ්ඨ හැසිරීමෙන් ද යන මෙයින් බ්‍රාහ්මණයෙක් වේ. මෙසේ බාහිත පාප වූ පුද්ගලයා ම උතුම් බ්‍රාහ්මණයා කොට බුද්ධාදීහු කියත්”යැයි156 වදාළ සේක.

නැවැත භික්ෂූහු “ආයුෂ්මත් සුනීත, කිනම් කුලයකින් ඔබ නික්ම පැවිදි වූහුද? චතුස්සත්‍ය ප්‍රතිවේධය කළෝ දැ?” යි විචාළහ. එ විට සුනීතයන් වහන්සේ තමන් පෙර අශූචි අදින ඉතා නීච චණ්ඩාල කුලයෙක කෙනකු බව ද, භාග්‍යවතුන් වහන්සේ කරුණායෙන් තමා පැවිදි කළ බව ද, බුද්‍ධ වචනය පරිදි පිළිපැද කෙලෙස් නසා රහත් වූ බව ද, ඉක්බිති ශක්‍රාදීන් අවුත් තමාට නමස්කාර කළ බව ද, ඔවුන් පිරිවරා සිටි තමා දැක බුදුරජාණන් වහන්සේ සිනා පහළ කර ඒ කාරණය මුල්කොට ගෙන දම් දෙසූ බව ද පැවැසූහ.