මධ්‍ය දේශයෙන් බොහෝ ඈත සෝවීර රටෙහි රෞරව පුර රජුගේ තිස්ස[1] නම් කුමාරයෙක් විය. වැඩි වයසට පත් හෙතෙම පියා මළ පසු රජ විය. එ රජ බිම්බිසාර නරපතීහු ගේ අදෘෂ්ට මිත්‍රයෙක් වූයේ එ රජුට මුතු මැණික් ආදි වූ බොහෝ පඬුරු යැවූයේ ය. ඒ ලැබූ බිම්සර රජ සිය මිතුරාට පඬුරක් යවන්නේ විසිතුරු වස්ත්‍රයෙක බුද්‍ධ චරිතය සලකුණු කරවා රන් පතෙක පටිච්චසමුප්පාද ධර්මය ලියවා යැවූයේ ය. එය ලැබ චිත්‍ර වස්ත්‍රයෙහි බුද්‍ධ චරිතය ද රන්පතෙහි පච්චසමුප්පාද ධර්ම ක්‍රමය ද බලා, කාරණය මනා ව තේරුම් ගෙන, “භාග්‍යවතුන් වහන්සේ ගේ ආකාරය මම දනිමි. ධර්ම චක්‍රය ද එක් අයුරෙකින් දනිමි. මේ කාම සම්පත් බොහෝ දුක් ඇත්තේ ය. බොහෝ හිරිහැර සහිත ය. මට ගිහිගෙයි සැපතින් කිම් දැ”යි කියා රජ සැප අත් හැර දමා හිසකේ රවුලු බාවා කසාවත් හැඳ, භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වැ, මැටි පාත්‍රයක් ගෙන, තමාගේ නගරවාසීන් හඬද්දීම එයින් නික්මැ, ක්‍රමයෙන් ගම් නියම්ගම් ගෙවා අවුත් රජගහ පුරයට පැමිණියේ ය. එහි සප්පසොණ්ඩික පබ්හාර නම් ගල්තල්ලේ වසන බුදුරජාණන් වහන්සේ වෙත එළැඹ දහම් අසා කමටහන් ගෙන වීර්‍ය්‍ය වඩා රහත් බවට පැමිණියේ ය.
-
දිව්‍යාවදානයෙහි මේ රජුගේ නම රුද්‍රායණ යැ යි කියන ලදී ↑