තක්සලා නුවර රජය කැරැ වු පුක්කුසාති රජ මගධ රටට අධිපති බිම්බිසාර රජතුමාගේ අදෘෂ්ට මිත්‍රයෙකි. (නො දැක ආරංචියෙන් ලියුම් ගනුදෙනුයෙන් මිත්‍ර වුයෙකි.), තම මිත්‍රයාට බුද්‍ධ ශාසනයේ තොරතුරු ලියා යවන අදහස ඇතිවූ බිම්බිසාර රජ රියන් සතරක් දිග ද වියතක් පුළුල ද ඇති රන් පතක් තළවා එහි දෑහිඟුල් දියෙන් (සාදිලින්ගම් වලින් කරන ලද තීන්ත වැනි රස විශේෂයකින්) බුදුගුණ සංග්‍රහ කොට ලියන්නේ, පළමු කොට බුදු කෙනෙකුන් උපන් කළ ලොව ඇති වන කීර්ති ඝෝෂය වු “ඉධ තථාගතො ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නෝ” යන ආදි වූ සංක්ෂිප්ත බුදුගුණ කථාව ඇතුළත් කොට, දස පැරුම් පුරා උන්වහන්සේ තුසී ලොව ඉපිද වුසූ තන් සිට බුදුවීම ද, බුදු වී ප්‍රාතිහාර්‍ය්‍ය පෑ තැන් ද දක්වා ලියුයේ ය.
ඊළඟට “යංකිඤ්චිවිත්තං ඉධ වා හුරං වා” යන ආදි ගාථාව ලියා ඉන් පසු ස්වාක්ඛාතෝ භගවතා ධම්මො යන ආදී ධර්ම ගුණ පාඨය ද, සතර සතිපට්ඨාන, සතර සෘද්‍ධිපාද, සතර සම්‍යක්ප්‍රධාන, පඤ්චෙන්ද්‍රිය, පඤ්චබල, සප්ත බොධ්‍යංග, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ග යන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම ද, සංක්ෂෙපයෙන් සඳහන්කොට “යම්බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං” යන ආදී ගාථා ලියූයේ ය.
ඉන්පසු “සුපටිපන්නෝ භගවතො සාවක සංඝො” යන ආදී සංඝ ගුණ පාඨය ලියා කුලපුත්‍රයන් බුදුරජාණන් වහන්සේ ගේ ධර්ම කථාව අසා පැවිදි වන බව ද, සමහරුන් රජකම ද, සමහරුන් යුවරජකමද, සමහරුන් සේනාධිපතිකම ද තවත් සමහරුන් නානාප්‍රකාර තනතුරු ද ධන සම්පත් ද හැර දමා මහණ වන බව ද, එසේ පැවිදි වූවන් සුපටිපන්නතා ඤායපටිපන්නතා ආදි ගුණවලින් සමන්විත වන බව ද සඳහන් කොට, මෙසේ ක්ෂුද්‍ර ශීල, මධ්‍ය ශීල, මහා ශීලයන් සැකෙවින් ලියා, සතර සංවර ශීල, නවුකාර සේනාසන, පංච නීවරණ දුරු කරන සැටි, කමටහන් වල තතු දැයි රහත් වීම තෙක් පිරියැ යුතු සියලු ගුණ රාශිය වූ ශීල සමාධි ප්‍රඥාවන් ද ලියැවූයේ ය.
එයින් පසු ආනාපානස්මෘති භාවනා ක්‍රමය විස්තර ලෙස සඳහන් කොට බුද්‍ධ පුත්‍ර සංඝයා මේ ගුණවලින් යුක්ත යැයි දක්වා “යෙ පුග්ගලා අට්ඨ සතම්ප සත්ථා” යන ආදි ගාථාව ද ලියා ඉක්බිති,
“ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මනාව ප්‍රකාශිත ය නුවණැත්තන් විසින් පුරුදුකොට නිවන් ලැබිය යුතු ය. ඉදින් මගේ මිත්‍රයා හැකි නම් ගිහිගේ හැර එ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වේවා යැ” යි ද,
අවවාද සඳහන් කොට, මෙසේ ඒ ලියුම සම්පූර්ණ කැරැ මැණික් රන් සඳුන් යන තුන් වර්ගයෙන් කළ හෙප්පු තුනක් එකින් එකක් වසා බහා ඊ තුළ ලියුම ලා, ගෞරවයෙන් තක්සලා නුවර පුක්කුසාති රජු වෙත යැවුයේ ය. එ රජ එය ලැබ කියවා වහා ම රාජ්‍යය හැර දමා පැවිදි වැ භාග්‍යවතුන් වහන්සේ දක්නා අදහසින් ම පිටත් වැ යොදුන් දෙසිය සත්තිසක් පමණ වූ දීර්ග මාර්ගය ගෙවා ගොස් රජගහ නුවර කුම්භකාර ශාලාවට පැමිණියේ, එහි වැඩි භාග්‍යවතුන් වහන්සේ ගෙන් බණ අසා අනාගාමී විය.