සුදත්ත සිටු බොහෝ යහළු මිතුරන් ඇත්තෙකි. හේ රජගහ නුවරට තමා ආ කටයුත්ත අවසන්කොට සැවැත් නුවරට පෙරළා යන්නේ, මඟදී හමු වන සියල්ලනට බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ බවත්, තමා උන්වහන්සේට සැවැත් නුවර වඩින්නට ආයාචන කළ බවත්, උන් වහන්සේ ඒ මහාමාර්ගයෙන් වඩනා බවත්, එ බැවින් කලින් විහාරාරාම කොට දන් දීමට බලාපොරොත්තු විය යුතු බවත් කියා කහවනු සිය දහස් ගණන් ද එ පමණ වටිනා උපකරණ ද දී සතළිස් පස් යොදුන් මාර්ගයෙහි යොදුනක් පාසා විහාර කරවා සැවැත් නුවරට පැමිණියේ ය. ඉක්බිති සැවැත් නුවර හාත්පස පරීක්ෂක්ෂා කැරැ බලනුයේ, ජේතරාජ කුමාරයාගේ උයන බුදුරජාණන් වහන්සේ ගේ වාසයට සුදුසු බව දුටුයේ ය.
මේ ඉක්බිති සිටු තෙම ජේත කුමාරයා වෙත ගොස් “ආර්‍ය්‍යපුත්‍ර ය, විහාරයක් කිරීමට උයන දිය හැකි දැ? යි ඇසීය. “ගෘහපතිය, කහවනු කෝටියක් ඇතුරුවත් නො දිය හැකි” යි කුමර කී ය. “එ සේ නම් ආර්‍ය්‍යපුත්‍රය, ආරාමය මා විසින් ගන්නා ලදැ” යි සිටු කීය. “නැත, එ පමණින් ආරාමය නො ගන්නා ලදැ”යි කුමර කී ය. ඉක්බිති ඔහු විනිශ්චයකාර ඇමැතියන් විචාළහ. “ආර්‍ය්‍ය පුත්‍රය, ඔබ ඉඩමේ වටිනාකම කී බැවින් ඉඩම දෙන ලදැ” යි ඔහු තීන්දු කළහ. ඉක්බිති සුදත්ත සිටු ගැලින් කහවණු දහ අට කෝටියක් අදවා ඉඩමෙහි අතුළේ ය. තව ස්වල්ප කොටසකට මඳ වූයෙන් ගොස්, ඒ බිම් කොටස වැසීමටත් කහවනු ගෙනෙන ලෙස මෙහෙකරුවනට නියෝග කළේය. මෙ තරම් මහත් මුදලක් වියදම් කොටත් සිටුහු මඳකුදු අප්‍රසන්න නො වූවහු දුටු කුමාර තෙම “මෙය ඉතා වැදගත් වැඩෙකැ” යි සිතා “ගෘහපතිය, ඔය ඇත. මේ ඉතිරි බිම් කැබෙල්ල මම මේ කටයුත්තට ත්‍යාග කරමි” යි කී ය. “එතරම් ප්‍රසිද්‍ධ උසස් රාජ කුමාරයකුගේ පැහැදීම සසුන් දියුණුවට බලවත් උපකාරයෙකැ” යි සිතූ සිටු එයට එකඟ වී ය. ඒ බිම් කොටසෙහි ජේත රාජ කුමාර තෙම තට්ටු සතක් ඇති විශාල ප්‍රාසාදයක් කැරැවීය. සිටු තෙම තවත් කහවණු දහ අට කෝටියක් වියදම් කොට ඒ ජේත කුමරුන්ගේ උයනෙහි (ජේතවනයෙහි) විහාර, පිරිවෙන්, උපස්ථාන ශාලා, ගිනි හල්, වැසිකිළි, කෙසකිළි, සක්මන් මලු, නාන ගෙවල් යන ආදිය කැරැවී ය.